colombo-gampaha-water

කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට අඛණ්ඩව ජල සැපයුම ලබාදීමේ හැකියාව තමන්ට ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කැලණි ගඟේ ජල මට්ටමට අදාළ ගැටලු විසඳීම සඳහා අඹතලේ ප්‍රදේශයේ වැලි බැම්මක් ඉදිකර ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අජිත් පෙරේරා මහතා සඳහන් කළේය.



මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලට පානීය ජලය සැපයීමේ ගැටලු මතුව ඇති නමුත් කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට අවශ්‍ය ජල සැපයුම ලබාදීමට ජල සම්පාදන මණ්ඩලයට හැකියාව පවතින බවද ඔහු සඳහන් කළේය.

“කැලණි ගඟේ ජල මට්ටමට පිළියම් යෙදීම සඳහා අපි අඹතලේ වැලිපිල්ලක් ඉදිකර තිබෙනවා. ජල මට්ටම අඩුවීම සහ පානීය ජලයට ලවණ ජලය මිශ්‍රවීම යන ප්‍රධාන ගැටලු දෙකට ජල මණ්ඩලය මෙම පියවර හරහා විසඳුම් ලබාදී තිබෙනවා.“ ඔහු කියයි.

පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහජනතාව අධික ලෙස ජලය භාවිත කිරීම හේතුවෙන් පවතින තත්ත්වය ඉදිරියේදී තවත් උග්‍ර විය හැකි බවට අජිත් පෙරේරා අනතුරු ඇඟවීය.



ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් අත්‍යාවශ්‍ය අවශ්‍යතා සඳහා පමණක් භාවිත කරන ලෙසත් ඔහු ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

හැකිතාක් ගංගා දූෂණය අවම කර ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීමට සහාය වන ලෙස ද අජිත් පෙරේරා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.