bellanvila-perahera-death

බෙල්ලන්විල පෙරහර නැරඹීමට පැමිණ සිටියදී විදුලි සැර වැදීමෙන් මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇයගේ මරණයට හේතුව නොදක්වා සිරුරේ පටක කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකොට විවෘත තීන්දුවක් ලබාදීමට කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක පාරින්ද කොටුගොඩ

මහතා නිගමනය කළේය. මියගොස් ඇත්තේ දෙහිවල, අත්තිඩියේ කඳුරේ බණ්ඩාර හේරත් මුදියන්සේලාගේ ස්වර්ණා කුමාරි පීලිගම නමැති 62 හැවිරිදි කාන්තාවකි. ඇය ඉකුත් 19 වැනිදා බෙල්ලන්විල රජමහා විහාරස්ථානය මගින් වාර්ෂිකව සංවිධානය කරන ඇසළ පෙරහරේ රන්දෝලි පෙරහර නැරඹීම සඳහා සිය ලේලිය සහ මිනිබිරිය සමග පැමිණ බෙල්ලන්තොට හන්දියේ යකඩ බට ආධාරයෙන් තාවකාලිකව ඉදි කර තිබූ ආරක්ෂිත වැටෙන් ඇතුළුවීමට යාමේදී එම යකඩ බටයට කාන්දු වී තිබූ විදුලි සැර වැදීමෙන් අනතුරට ලක්වූවාය. සිද්ධියෙන් පසුව අනතුරට පත් කාන්තාව ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියාය.



ඒ අනුව මියගිය කාන්තාවගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සී.පී. ගෝවින්නගේ මහතා විසින් සිදු කරනු ලැබූ අතර මෘතදේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා විසින් කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී ඉකුත් දා සිදු කෙරිණි.එහිදී මියගිය කාන්තාවගේ සැමියා වන වීරසූරිය ආරච්චි අප්පුහාමිලාගේ අනිල් නන්දලාල් වීරසූරිය සහ සිද්ධිය ඇසින් දුටු මියගිය කාන්තාවගේ ලේලිය වන කක්ගොඩ තන්ත්‍රිගේ නදීෂා රුවන්මලී සාක්කි ලබාදී තිබුණි.

මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සී.පී. ගෝවින්නගේ මහතා මියගිය කාන්තාවගේ මරණයට හේතුව නොදක්වා සිරුරේ පටක කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබුණි.ඒ අනුව ඉදිරිපත් වූ සාක්කි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව මියගිය කාන්තාවගේ මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබා දී

එම තීන්දුව ලබා දීම සැප්තැම්බර් 20 වැනිදා දක්වා කල් තැබීමට කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා පියවර ගත්තේය. මීට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බලප්‍රදේශයේ විදුලි අධිකාරිවරයා ලවා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකොට එහි වාර්තාව ද සැප්තැම්බර් 20 වැනිදාට පෙර ලබාදෙන ලෙසට හදිසි මරණ පරීක්ෂක පාරින්ද කොටුගොඩ මහතා බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.

 ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න