aswesuma-issue

 අස්වැසුම් ප්‍රතිලාභ වැඩ සටහන නියමිත පරිදි ක්‍රියාත්මක නොවීම නිසා රජයේ සහනාධාර ලැබූ ලක්ෂ විස්සකට (20) මේ මාසයට (ජූලි) අදාළ දීමනා අහිමි වී තිබේ. සමෘද්ධි වැඩිහිටි දීමනා හා වකුගඩු හා පිළිකා රෝගා බාධ වලින් පෙලෙන පිරිස් වලට හා ආබාධිත ප්‍රජාවට ලබාදුන් දීමනා සියල්ලම එකතු කර අස්වැසුම් ප්‍රතිලාභ ක්‍රමයක් මේ මස 01 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබුණි.


 

එහෙත් අස්වැසුම් ප්‍රතිලාභ ලබා දීමට පිරිස් තෝරා ගැනීමෙදී ඇති වී තිබූ ගැටලු සහගත තත්ත්වය නිසා අසාධාරණයට පත් වූ ජනතාවට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දීමට රජය කටයුතු කරනු ලැබිණි. මේ අනුව අදාළ අභියාචනා භාර ගැනීම මේ මස 10 වැනි දින අවසන් වූ බවත් ප්‍රතිලාභ අහිමි වූ ලක්ෂ දහයක් (10) අභියාචනා ඉදිරිපත් කර තිබූ බවත් සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි. අදාළ අභියාචනා විමසා බලා සුදුසු පිරිස් අස්වැසුම් ප්‍රතිලාභ ක්‍රමයට ඇතුළත් කිරීමට මෙතෙක් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවද එම සංගමයේ ප්‍රධාන සංවිධායක චාමර මද්දුමකළුගේ මහතා පැවසීය.

අස්වැසුම් ප්‍රතිලාභ අහිමි වූ ජනතාවගෙන් අභියාචනා අයැදුම්පත් භාරගෙන මේ වන විට සති දෙකකට වැඩි කාලයක් ගතව තිබුණ ද, ප්‍රතිලාභීන් තෝරා ගැනීමට මෙතෙක් නිසි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක නොවන බව කියා සිටියේය. රජයේ සහනාධාර ජනතාවට ලබා දීම සෑම මසකම 05 වැනි දිනත් 10 වැනි දිනත් අතර කාලයේ දී සිදුවෙන බවත් මෙම සහනාධාරවලින් පමණක් ජීවත් වන ජනතාව සිටින බවද පවසා සිටියේය. මාසිකව ජීවත් වීමට ප්‍රමාණවත් ආදායමක් නොමැති පිරිස් වලට රජයේ සහනාධාර හිමිවන බවත්, 

මෙම සහනාධාර වලින් මාසිකව අවශ්‍ය වන ඖෂධ ලබා ගන්නා පිරිස්ද සිටින බව ද සඳහන් කළේය. අස්වැසුම් අභියාචනා ගැටලුව තවමත් අවසන් වී නොමැති නිසා ලබන මාසයේදීත් සහනාධාර ලබා දීම පිළිබඳව ගැටලු ඇති විය හැකි බවද පවසා සිටියේය. දැනට අස්වැසුම් ලේඛනවල සිටින ජනතාවට වානිජ බැංකුවල ගිණුම් ආරම්භ කරන ලෙසට බලධාරීන් උපදෙස් ලබා දී තිබෙන බවද සඳහන් කළේය. මේ අනුව අස්වැසුම් ප්‍රතිලාභ සඳහා තෝරා ගෙන තිබෙන බවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලිපියක් රැගෙන වානිජ බැංකු වෙත ගොස් ගිණුම් ආරම්භ කිරීමට ජනතාවට සිදු වී තිබෙන බවද මද්දුම කළුගේ මහතා පවසා සිටියේය.

මේ නිසා මේ වන විට වානිජ බැංකු 04 ක හා ප්‍රාදේශීය ලේකම් කාර්යාවල අස්වැසුමට අදාල පෝලිම් ඇති වී තිබෙන බවද සඳහන් කළේය. ' අස්වැසුම ' ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය ලිපිය ලබා ගැනීමට ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පෝලිමේ රැඳී සිටි පුද්ගලයෙකු 27 වන දින උදෑසන බිම ඇද වැටී මිය ගිය බව පවසා සිටියේය. සමෘද්ධි සහනාධාරය ලබාගත් ලක්ෂ දහසය හමාරක පිරිසක් සඳහා වැඩිහිටි දීමනා හා වකුගඩු, පිළිකා රෝග , ආබාධිත ප්‍රජාවට අදාළව තවත් ලක්ෂ හතරකට අධික පිරිසක් රජයේ ප්‍රතිලාභ ලබාගත් බවද පවසා සිටියේය. ඉන්දික හේවාවිතාරණ