specialist-doctor

වෛද්‍ය විශේෂඥයින් සහ රජයේ සෞඛ්‍ය ආයතන කෙරෙහි සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා ඇතැම් පුද්ගලයන් විසින් මෑතකාලීනව අවමන් සහගත ප්‍රකාශ කිරීම් සිදු කරන බව දක්වමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වෙනුවෙන් සභාපති වෛද්‍ය ඒ ඩී කේ එස් එන් යසවර්ධන ලේකම් වෛද්‍ය R.ඥාණසේකරම්ගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත්ව ඇත.
එහි මෙසේ සඳහන්වේ.
“දැඩි දුෂ්කරතා මධ්‍යයේ හොඳ සෞඛ්‍ය සේවාවක් ලබා දෙන රාජ්‍ය ආයතන සම්බධයෙන් සාමාන්‍ය ජනතාව අතර අහිතකර හැඟීමක් ඇති කිරීමේ අරමුණින් පසුගිය කාලයේ වෛද්‍ය වෘත්තිකයන්ට සහ රාජ්‍ය සෞඛ්‍ය ආයතනවලට එරෙහිව ඇතැම් පුද්ගලයන් විසින් සමාජ මාධ්‍ය හරහා කරන ලද අසත්‍ය චෝදනා මාලාව පිළිබඳව වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය (AMS) අතිශයින් කනස්සල්ලට හා විශ්මයට පත්ව ඇත.




මෙම වගකීම් විරහිත සමාජ මාධ්‍ය මෙහෙයුමේ නවතම ගොදුර වන්නේ කළුතර ශික්ෂණ රෝහලේ හෘද රෝග අංශයයි. තම රාජකාරිය නිසි අයුරින් ඉටුකරන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු සහ වෙනත් කැපවූ සහායක කාර්ය මණ්ඩලයකින් සමන්විත මෙම ඒකකය 2021 වසරේ සිට කළුතර ප්‍රදේශයේ ජනතාවට දුර බැහැර රෝහල්වලට යාමෙන් තොරව, 24 පැය තුලම තම සේවය සපයයි.




මෙහිදී බොරු චෝදනා මත මඩ ගැසීමට උත්සාහ කරන ඇතැම් පුද්ගලයින්ගේ මෙම වගකීම් විරහිත හැසිරීම අප සම්පූර්ණයෙන්ම හෙළා දකින අතරම, අසීරු තත්ත්වයන් යටතේ වෙහෙස මහන්සි වී වැඩ කරන වෛද්‍ය වෘත්තිකයන්ට සහ ආයතනවලට අපකීර්තියක් ගෙන දෙමින් කරගෙන යන මෙම පිළිගත නොහැකි හැසිරීම නැවැත්වීමට පවතින රෙගුලාසි යටතේ ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස අපි අදාළ බලධාරීන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
මෙම පියවර, වගකීම් විරහිත පුද්ගලයන්ගේ අසත්‍ය ප්‍රකාශ වලින් බිද දැමීමට උත්සාහ දරන රාජ්‍ය සෞඛ්‍ය ආයතන කෙරෙහි සාමාන්‍ය ජනතාව රදවා ඇති විශ්වාසය තහවුරු කිරිමට ඉවහල් වනු අතෑයි අප අවධාරනය කරමු.“