shammi-silva-shalani-tharaka

ඔස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා නිළියන්ට හා හිතවතුන්ට ක්‍රිකට් ආයතනයේ මුදල් වියදම් නොකළ බවත්, කවුරුන් හෝ එම චෝදනාව ඔප්පු කළහොත් හෙට ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා අස්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පැවසීය.

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ඊයේ (25දා) කැඳවූ හදිසි මාධ්‍ය සාකච්ඡාවකදී ක්‍රිකට් සභාපතිවරයා මේ බව අනාවරණය කර සිටියේය.

මෙහිදී ඒ මහතා ක්‍රිකට් ආයතනයේ උපසභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස මහතාට එල්ලවන චෝදනාවන්ටද පිළිතුරු දෙමින් පවසා සිටියේ, ධර්මදාස මහතා ජාතික චිත්‍රපට සංස්ථාවේ හිටපු සභාපති බවත්, ඔහු නළුනිළියන් නැතිව හිරකාරයෝ ආශ්‍රය කරන්නද? යනුවෙනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ෂම්මි සිල්වා මහතා, "ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි වැඩිවෙනකොට මේකට රිංගන්න බලාගෙන බොරු වැරදි හොයන්න බලාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. නමුත් කියන්න කැමතියි අපි මේක හොඳ විනිභාවයකින් කරගෙන යන්නේ” යනුවෙන් පැවසීය.

මෙහිදී මාධ්‍ය සභාපතිවරයාගෙන් විමසා සිටියේ, "ලෝක කුසලානයට නළුනිළියන් රැගෙන ගිය බවට චෝදනාවක් එල්ල වෙනවා. ඇත්තටම ක්‍රිකට් ආයතනයට එලෙස නළුනිළියන්ට ව්යදම් කරන්න පුළුවන්ද?" යනුවෙනි.



“මේක තනිකර බොරුවක්. අපි කිසිම නිළියෙකුට, පවුලේ හිතවතෙකුට සත පහක් වියදම් කරලා නැහැ. මම දැක්කා ජයන්ත ධර්මදාස මහත්තයට චෝදනා කරනවා එයා නිළියොත් එක්ක ඉන්නවා කියලා. සමහරුන්ට ඊර්ෂ්‍යාව තියෙනවා එක එක්කෙනා දැක්කාම. ඒ නිසා අපි විශ්වාසනීයව කියනවා එවැන්නක් නැහැ කියලා. කවුරු හරි අද ඔප්පු කරලා පෙන්නුවොත් අපි නිළියන්ට, හිතවතුන්ට ක්‍රිකට් ආයතනයේ මුදල් වියදම් කරලා තියෙනවා කියලා, අපි හෙට ක්‍රිකට් බෝඩ් එකෙන් ඉල්ලා අස්වෙනවා.

අපි ලියුම් දීලා තියෙනවා. මේ අය ඔක්කොම අපේ අනෙක් මැව්වලටත් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ කිසිම වෙලාවක ක්‍රිකට් බෝඩ් එකෙන් සත පහක් කාටවත් වියදම් කරලා නැහැ. අපි වියදම් කරලා තියෙන්නේ අපේ විධායක කමිටු සමාජිකයන්ට. එයත් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ඇතුව” යනුවෙන් ෂම්මි සිල්වා මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය ක්‍රිකට් සභාපතිවරයාගෙන් විමසා සිටියේ, ලෝක කුසලානයක් බලන්න යන්න ලිපියක් ඉල්ලුවොත් ඒ ඕනෑම කෙනෙකුට ක්‍රිකට් ආයතනය ලිපි දෙනවාද යනුවෙනි.

"ඕනැම කෙනෙකුට දෙන්න බැහැ. මම ඉන්නවා නම්, මට මගේ බිරිඳ එක්කගෙන යන්න බැරිද? මට මගේ මල්ලි හරි කාව හරි බැරිද. ඒ වගේම එහෙම යන අය ආපහු රටට එන්නත් එපැයි. අපේ විධායක කමිටුවට යන්න අයිතියක් නැද්ද?

මේ සල්ලි ආණ්ඩුවේ සල්ලි නෙමෙයි. මේක තනිකර අයි.සී.සී. එකෙන් අපට දෙන්නේ. මේක ප්‍රයිවට් කම්පැනි එකක් වගේ. කෝප් එකට යන්න තියෙන්නේ මේක විගණකාධිපති විගණනය කරන නිසා. නමුත් ඔස්කොම හිතන් ඉන්නේ මේක 'පබ්ලික් මනී’ කියලා.  "මේවා සාමාජිකත්වයට අයිති සල්ලි” යනුවෙන් සභාපතිවරයා පිළිතුරු දුන්නේය.

නිළියන් සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනාවන්ට පිළිතුරු දෙමින් ජයන්ත ධර්මදාස මහතා පවසා සිටියේ, තමන් කිසිම දෙයක් ක්‍රිකට් බෝඩ් එකෙන් වියදම් කර නොමැති බවයි.

"ඔය කියන ගමන් ගිහිල්ල නැහැ. ඒ නිසා මේක සම්පූර්ණයෙන් අසත්‍යක්” යැයිද පැවසීය.

මේ අතර ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ක්‍රිකට් ආයතනයේ ලෝක කුසලාන වියදම් සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ අනාවරණයන් පිළිබඳවද මෙහිදී ක්‍රිකට් සහාපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු දුන් ඔහු,

“හේෂා විතානගේ මන්ත්‍රීතුමා දැක්කේ මේ ළඟදී. අහිංසක මන්ත්‍රීවරයෙක්. එයාට තේරෙන්නේ නැහැ, කෙටුම්පතෙයි විගණකාධිපතිගේ වාර්තාවයි. අතර වෙනස. මේක රහසිගත කෙටුම්පතක්. නමුත් කොතනින් හරි ලීක් වෙලා තියෙනවා. ඒකේ කිසිම තැනක නැහැ අපේ හිතවතුන්ට, නිළියන්ට හෝ වෙන කාටවත්වත් මුදල් වියදම් කළා කියලා. මේක ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අපට එවලා තියෙන්නේ, නියමිත කාලයක් ඇතුළත එම වාර්තාවේ අන්තර්ගත තොරතුරුවලට අපට කරුණු දක්වන්න කියලා” යනුවෙන් පැවසීය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදීම ක්‍රිකට් සභාපතිවරයා පැවසූ තවත් කරුණක් වූයේ ඇතැම් ක්‍රීඩකයන්ගේ මානසිකත්වය පහත හෙළීමටද ඇතමුන් උත්සාහ ගන්නා බවයි.

"අන්තිම මාස හය ඇතුළත එක එක අය අල්ලගෙන අපේ ක්‍රීඩකයන්ට ගහනවා , ඔවුන් මානසිකව වට්ටනවා. මේ ගැන ක්‍රීඩකයෝ අපිත් එක්ක කතාකරනවා. ඒ අය තරුණ ළමයි. මම ඒගොල්ලන්ට ඉන්න පියෙක් වගේ.

දැන් බලන්න ධනුෂ්ක ගුණතිලක. තාම එයා වැරැද්දක් කළා කියලා තහවුරු වෙලා නැහැ. ඔහු වගේ ඉන්න තව ක්‍රීඩකයෝ හතර පස්දෙනෙක්ම තෝරලා ගහනවා. මම කියන්නේ අපිට ගහන්න, අපේ ළමයින්ට ගහන්න එපා. ඒ අය වැරැද්දක් කළොත් අනිවාර්යයෙන් ඊට විරුද්ධව අපි පියවර ගන්නවා” යනුවෙන්ද පැවසීය.



කෙසේ නමුත් ධනුෂ්ක ගුණතිලකගේ සිදුවීම මතුකරමින් මාධ්‍ය මෙහිදී සභාපතිවරයාගෙන් විමසා සිටියේ, ධනුෂ්කගේ සිදුවීමේ මාධ්‍යයට අලුතින් වාර්තා කිරීමට දෙයක් නොමැති බවයි. එය ලෝකයම වාර්තා කළ සිදුවීමක් බවයි. ඔහු යම්කිසි වැරැද්දක් කළා නම්, එය වාර්තා කිරිම වරදක්ද? යනුවෙනි.

ඊට පිළිතුරු දුන් ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා, "නැහැ නැහැ මම කියන්නේ එහෙම ඒවා වාර්තා කරන එක වැරදියි කියලා නෙමෙයි. මම කියන්නේ එලවා එලවා ගන්න එපා කියලා. එයාලා තරුණ ළමයි. තාම එයා වැරදිකාරයෙක් වෙලා නැහැ” යනුවෙන් පැවසීය.

 සංජීව ධර්මසේන