
ප්‍රතිකාර සඳහා තායිලන්තය වෙත රැගෙන ආ මුතුරාජා හෙවත් සක්සුරින් හස්තියා නැවතත් ශ්‍රී ලංකාව වෙත භාරදීමක් සිදු නොවනු ඇතැයි තායිලන්තයේ ස්වාභාවික සම්පත් සහ පරිසර අමාත්‍ය වරාවුට් සිල්පා-අර්චා ඊයේ (05දා) දිනයේ පැවසූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මෙම හස්තියා නැවතත් ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධයෙන් විමසමින් ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ස්වාමීන් වහන්සේ නමක් එරට රජයේ බලධාරීන් වෙත ලබාදුන් දුරකථන ඇමතුමක් පිළිබඳ මාධ්‍ය වෙත කරුණු සඳහන් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
"අද වෙන කොට සක්සුරින් හස්තියා ඉන්නේ තායිලන්ත රජුගේ භාරයේ. ඒ නිසා ඒ කාරණාව ගැන වදවිය යුතු නැහැ.” යනුවෙන් අමාත්‍යවරයා පවසා ඇත.
මේ අතර තායිලන්තය විසින් ප්‍රදාන ලෙස ශ්‍රී ලංකාවට ලබාදුන් අනෙකුත් හස්තීන් දෙදෙනා වන නාරොන්ග් සහ ප්‍රතුපා යන හස්තීන් තවදුරටත් ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවත් අමාත්‍යවරයා පවසා ඇත. ඔවුන් රැක බලා ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට පවතින බවත්, ඔවුන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත. එහෙත් ඉන් එක් හස්තියෙකුට සුළු තුවාල සිදුව තිබෙන බවත් ඔහු පවසා තිබේ.
එසේම තායිලන්ත මාධ්‍ය සඳහන් කරන ආකාරයට පසුගිය දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක්ම එරට විදේශ කටයුතු අමාත්‍යාංශය අමතා මෙම තායිලන්ත හස්තීන් රැක බලා ගැනීමේ හැකියාවක් තමන්ට ඇතැයි පවසා ඇතැයිද වාර්තා සඳහන් කරයි. පසුගිය ඉරිදා දිනයේදී ගුවන් මගින් තායිලන්තයට රැගෙන ගිය සක්සුරින් හස්තියා මේ වනවිට එරට ලම්පාන්ග් හස්ති වෛද්‍ය මධ්‍යස්ථානයේ දින 30ක නිරෝධායනයකට යටත්ව ප්‍රතිකාර ලබමින් සිටියි.
භානුක අමරසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval