
කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති ඉඩම් නඩුවකට අදාළව ලේඛනාගාරයේ තිබූ ලිපිගොනුවක ඇතුළත්ව තිබූ ලේඛන පිටපත් දෙකක් ඉරා සපා කා විනාශ කළ බව කියන නීතිඥවරියක කැකිරාව පොලිසිය මඟින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරියක් බවයි වාර්තා වන්නේ. අධිකරණයේ නඩු කටයුතු සිදුවෙමින් පැවැති කාලය තුළ දී ඇය අධිකරණ ලේඛණාගාරයේ තිබූ ඉඩම් නඩුවකට අදාළ නඩු ගොනුවේ තිබූ ලේඛන දෙකක් එම ගොනුවෙන් ඉරා ගෙන එම ස්ථානයේදීම සපා කා විනාශ කර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේ ලේඛනාගාරයේ රාජකාරියේ නිරතව සිටි අධිකරණ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් හා නිලධාරිණියන් විසින් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට දැනුම්දිමට පියවර ගෙන තිබෙයි.
එම අවස්ථාවේ අධිකරණ භූමියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරිනියන් විසින් සැකකාර නීතීඥවරිය පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී ඇය විසින් සපා විනාශ කර තිබූ ලේඛන කොටස් කිහිපයක් ද සොයාගත් බව පොලිසිය පවසයි.
ඒ අනුව සැකකාර නීතිඥවරිය අදාළ නඩු භාණ්ඩද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙයි. පොලිස් අත්අඩංගුවට ගෙන ඇති සැකකාර නීතිඥවරිය අද (28) දිනයේ කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval