sri-lankan-visa

වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගෙන් වීසා ගාස්තුවලට අමතරව අතිවාස කාලසීමාව සඳහා අයකරනු ලබන දඩ මුදල අඩු කිරීමේ නියෝගවලට මභප්ත ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව වලංගු වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගෙන් වීසා ගාස්තුවලට අමතරව අතිවාස කාලසීමාව සදහා අයකරනු ලබන ඇමරිකානු ඩොලර් 500ක දඩ මුදල සංශෝධනය කිරීමට එම සභාවේ අනුමැතිය හිමි විය.



මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේ දී මෙම අනුමැතිය ලබා දෙන ලදි.ඒ අනුව මෙම නියෝග හරහා, වීසා කාලසීමාව දීර්ඝ කර ගැනීමකින් තොරව වලංගු වීසා කාලසීමාව ඉක්මවා දින 7ක් හෝ අඩු කාලයක් තුළ රටින් පිටවන විදේශිකයන් සදහා දඩ මුදල් අය නොකිරීමටත්, අතිවාස කාලසීමාව දින 7කට වැඩි සහ දින 14ක් හෝ ඊට අඩු කාලසීමාවක් සඳහා ඇමරිකානු ඩොලර් 250ක දඩ මුදලක් අය කිරීමට හා අතිවාස කාලසීමාව දින 14කට වැඩි කාලසීමාවක් වන විට ඇමරිකානු ඩොලර් 500 ක දඩ මුදලක් අය කිරීමටත් ප්‍රතිපාදන සකස් කර ඇත.



සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය, ආයෝජකයන් ආකර්ෂණය කිරීම සහ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විදේශ දූත මණ්ඩලවල සේවයේ නියුතු නිලධාරීන් හටද ඉහත දඩ මුදල් ගෙවීමට සිදුවීම හේතුවෙන් සිදුවන අපහසුතා පිළිබඳව විවිධ පාර්ශ්ව විසින් කරන ලද ඉල්ලීම් අනුව මෙම පියවර ගෙන ඇත. මෙම නියෝගවලට ඉදිරි දිනයකදී පාර්ලිමේන්තුවේ අනුමතිය ලබා ගැනීමට නියමිතය.
දිනේෂ් සමරකෝන්