sarasavi-publishers-dharma-samaranayake

“ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම්” නමින් කලකට පෙර ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථයේ කර්තෘත්වය සම්බන්ධ ඇතිවූ නොපැහැදිලි තත්වය මත ලබාදුන් නඩු තීන්දුවකින් 2013 වසරේදී එහි කර්තෘත්වය කෘතිය සංස්කරණය කළ ධර්මා සමරනායක මහත්මිය වෙත ලබාදී තිබුණත් අභියාචනාධිකරණය හමුවේ එම තීන්දුව අභියෝගයට ලක් කරමින් විබාගවූ පෙත්සමින් ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතාට එම කෘතියේ කර්තෘත්වය හිමි බව අභියාචනාධිකරණය අද තීන්දු කර තිබෙයි.

සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක තීන්දුව ලබා දෙමින් මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දී තිබේ.



“ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම් ග්‍රන්ථයේ” කර්තෘත්වය තමන් සතු බවත් ඒ අනුව තමන්ට කර්තෘ භාගය හිමි විය යුතු බවටත් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ධර්මා සමරනායක මහත්මිය විසින් සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගමට එරෙහිව 2005 වසරේ කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කළ නඩුව අනුව 2013 වසරේ තීන්දුව ලබා දුන් කොළඹ වාණිජ මහාධිකරණය අදාළ ග්‍රන්ථයේ කතෘ අයිතිය පැමිණිලිකාර සමරනායක මහත්මියට හිමි බවට තීන්දු කර බුද්ධිමය දේපළ පනත යටතේ ඒ සඳහා අදාළ ගෙවීම් සිදුකර ලෙසත් සරසවි ප්‍රකාශන සමාගම වෙත නියෝගයක් නිකුත් කරනු ලැබ තිබුණි.
එම නඩුවේ දී කරුණු ඉදිරිපත් කළ සරසවි ප්‍රකාශන සමාගම අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ පැමිණිලිකාර සමරනායක මහත්මිය විසින් සිදුකරන ලද්දේ අදාළ ග්‍රන්ථය සංස්කරණය කිරීම පමණක් බවත් එහි කර්තෘත්වය පබිලිස් සිල්වා මහතාට හිමි බවයි.
එම ග්‍රන්ථයේ සංස්කරණ කටයුතු වෙනුවෙන් පමණක් ඇයට මුදල් ගෙවා ඇති බවත් අදාළ සමාගම වාණිජ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබු නිසා නඩුව පවරා තිබුණි.

බුද්ධිමය දේපළ පනත අනුව කර්තෘ යනුවෙන් අදහස් කරන්නේ කෘතියක් නිර්මාණය කළ කායික තැනැත්තා බවත් එහි කර්තෘ භාගය කර්ථෘවරයාට හිමිවිය යුතු බවත් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණි අමරසේකර මහතා 2013දී තීරණය කළේය.
එම නඩු විභාගයේ දී අදාළ ග්‍රන්ථය මුද්‍රණය කිරීම, රඳවා ගැනීම හා බෙදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණි.

එම තීන්දුවට එරෙහිව සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළ අතර දීර්ඝ ලෙස විභාග කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල අදාළ ග්‍රන්ථයෙහි කර්තෘත්වය පබිලිස් සිල්වා මහතා සතු වන බවට නිගමනය කළ අතර රුපියල් 25000ක නඩු ගාස්තුවක් පෙත්සම්කාර සරසවි ප්‍රකාශන සමාගමට ගෙවන ලෙස වගඋත්තරකාර ධර්මා සමරනායක මහත්මියට  නියෝග කර තිබේ.