
රසකැවිලි වර්ග කෑමට මුදල් දී විහාරස්ථානයක දී බාලවයස්කාර පාසල් සිසුන් තිදෙනකුට ලිංගික අපයෝජනයක් කළේ යැයි කියන හිමිනමක් කුරුණෑගල, දෙල්විට පොලිසිය විසින් පෙරේදා අත්අඩංගුවට ගනු ලැබුහ.
අත්අඩංගුවට ගත් සැකකාර හිමිනම පනස් තුන් වන වියේ පසුවෙයි.
මෙම හිමිනම දෙල්විට පොලිස් වසමේ පිහිටි විහාරස්ථානයක විහාරාධිපති තනතුර දරන වකවානුවේ මෙය සිදුවී ඇති බව පොලිසිය කියයි.
මෙම බාලවයස්කාර සිසුන් තිදෙනාට මුදල් දී රසකැවිලි වර්ග කෑමට දී අවස්ථා කිහිපයකදීම විහාරස්ථානයේ කාමරයක් තුළ දී ලිංගික අපයෝජන සිදු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම සිසුන් තිදෙනාගෙන් ප්‍රශ්න කර හෙළිකරගත් තොරතුරු මත මෙම හිමිනම අත්අඩංගුවට ගන්නා ලදැයි ද පොලිසිය පැවසීය.
දොළොස් හැවිරිදි සිසුන් දෙදෙනෙකු සහ නව හැවිරිදි සිසුවකු මෙසේ ලිංගික අපයෝජනයකට ලක්වී ඇතැයි කියන අතර එම සිසුන් තිදෙනා වෛද්‍ය පරීක්ෂණයට ලක් කිරීම සඳහා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කුරුණෑගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් මත දෙල්විට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගමගේ මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් සැකකාර හිමි නම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
Comments
Post a Comment
Your comment will be visible after approval