
කෑගල්ල, හෙට්ටිමුල්ල, කවුඩුගම ප්‍රදේශයේ වෙසෙන විසිඅට හැවිරිදි මුනුපුරකු විසින් 85 හැවිරිදි සිය මිත්තණියගේ ගෙල මිරිකා ඝාතනය කර ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ 93 හැවිරිදි සැමියා සමග විසු දෙදරු මවකි. ඔවුන් දෙදෙනා කලක සිට එක්තැන්ව සිට ඇතැයි ද කෑගල්ල පොලිසිය පැවසීය. එම යුවළගේ දෙවැනි දරුවාගේ දරුවකු (මුනුපුරා) විසින් මෙලෙස මිත්තණිය ඝාතනය කර ඇතැයි පැවැසේ.
ඔහු කාලයක සිට මත්පැන් හා මත්ද්‍රව්‍ය පානය කරන බවත් සොරකම් ගණනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අයකු බවත් පොලිසිය සඳහන් කළේය.
මෙම සැකකාර මුනුපුරා සතියකට දෙකකට වරක් සීයා සහ මිත්තණිය පදිංචි කවුඩුගම නිවසට විත් ඔවුන් සන්තකයේ යම් මුදලක් වේ නම් එය රැගෙන ගොස් මත්පැන් පානය කරන බව ඥාතීහු පැවසූහ.
පෙරේදා (28 වැනිදා) රාත්‍රියේ සැකකාර මුනුපුරා ඈවුණුගල්ල නිවසේ සිට කිලෝමීටර් 3ක් පමණ ඈතින් පිහිටි සීයා හා මිත්තණිය පදිංචි නිවසට පැමිණ මිත්තණියගේ ගෙල මිරිකා ඝාතනය කර, අසල්වැසි නිවසකට පැමිණ මිත්තණිය මිදුලේ වැටී සිටින බව කියා ඇතැයි ප්‍රදේශවාසීහු පැවසුහ.
ඥාතීන්ගේ දැනුම්දීමෙන් පසු පොලිසිය පැමිණ නිවස පිටුපස වැටී සිටි කාන්තාව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
පසුව රුෂාන් රවින්ද්‍ර රණසිංහ නමැති 28 හැවිරිදි මෙම සැකකරු ඈවුණුගල්ල නිවසේ නිදාගෙන සිටිය දී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
එහිදී සැකකරු පොලිසියට කියා ඇත්තේ කිරි අම්මා දුක් විඳිනවා බලා ඉන්න බැරි තැන ගෙල මිරිකා ඝාතනය කළ බවයි.
සාලිය ගමසිහ ආරච්චි - කෑගල්ල
Comments
Post a Comment
Your comment will be visible after approval