
පවුල් ආරාවුලක් විසඳාගැනීමට කුරුණෑගල මූලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණි කාන්තාවක් පැමිණිල්ල විභාගයට ගනිමින් සිටි අවස්ථාවේදී තම විවාහක සැමියා සහ පොලිස් නිලධාරීන් ඉදිරිපිටදී වස පානය කර සියදිවි නසාගැනීමට උත්සාහ කළ සිද්ධියක් පෙරේදා (27දා) වාර්තා විය. කුරුණෑගල හිඳගොල්ල, දංගොල්ල පදිංචි 37 හැවිරිදි කාන්තාවක් මෙසේ වස වර්ගයක් පානය කර ඇති බව පොලීසිය පවසයි.
මැද පෙරදිග රටක සේවය කර ඇති එම කාන්තාව සිය රැකියාවෙන් ලැබෙන වැටුප තමන් පදිංචි නිවසේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සඳහා මෙරට වෙසෙන තම විවාහක සැමියාට එවා ඇති බවත්, සැමියා එම මුදල් නිවසේ ඉදිකිරීම් කටයුතු සිදු නොකර මත්පැන් පාවිච්චියට සහ කාන්තාවන් ඇසුරු කිරීම සඳහා වියදම් කර ඉන් නොනැවතී අනියම් බිරිඳක්ද නිවසේ නවත්වාගෙන එම මුදල් වියදම් කර තිබෙන බවත් අනාවරණය වේ.
එතෙර සිට මෙරටට පැමිණි කාන්තාව තමා එවූ මුදල් සැමියාගෙන් ලබා දෙන ලෙස ඉල්ලමින් කුරුණෑගල මූලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිලි කර ඇත. සිය දිවි නසාගැනීමට උත්සාහ කිරීම සිදුවූයේ පැමිණිල්ල විභාගයට ගැනීම සඳහා පැමිණිලිකාර බිරිඳ සහ සැමියා පොලීසියට කැඳවූ අවස්ථාවේදීය. ප්‍රතිකාර සදහා රෝහල් ගත කර සිටින ඇයගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවද පොලීසිය සඳහන් කළේය. කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්ම චත්තක කොබ්බෑවල මහතාගේ මෙහෙයවීමෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.
ගීතාංජලී ප්‍රියදර්ශනී
Comments
Post a Comment
Your comment will be visible after approval