
මවක මහමඟ දමා ගිය මාස හයේ කිරි කැටි දියණියක සහ අවුරුදු නවයේ පුතකු පෙරේදා (11) සිය භාරයට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයකු මහමග සිටි එම දරුවන් දෙදෙනා මෙසේ පොලිස් ස්ථානයට ගෙනැවිත් බාරදුන් බවද පොලිසිය සඳහන් කරයි.
දරුවන් දෙදෙනා ටික වේලාවක් බලා ගන්නට යැයි කියමින් කාන්තාවක මෙම දරුවන් දෙදෙනා තමාට බාරදුන් බවත් ඇය නොපැමිණි නිසා දරුවන් දෙදෙනා පොලීසියට රැගෙන ආ බවත් දරුවන් දෙදෙනා පොලිසිය ගෙනවිත් දුන් පුද්ගලයා කී බවද පොලීසිය පවසයි. මෙම දරුවන් දෙදෙනා පොලීසියට බාරදුන් අවස්ථාවේ ඔවුන් දෙදෙනාම දැඩි කුසගින්නේ සිටි බවත් පසුව පොලිස් නිලධාරීන් එකතු වී ඔවුන්ගේ කුසගින්න නිවා දැමීමට කටයුතු කළ බවත් පොලිසිය සඳහන් කරයි.
මව නොමැතිව මහ හඬින් අඬමින් සිටි හය මස් දියණිය නළවා ගන්නට සිය ස්ථානයේ පොලිස් කාන්තාවන් විශාල මහන්සියක් ගත් බවද පොලිසිය කියයි. මව්කිරි නොමැතිව සිටි මාස හයේ දියණිය යම් රෝගි තත්ත්වයකින් පෙළේදැයි යනුවෙන් ඇතිවූ සැකය මත ඇය බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. නව හැවිරිදි දරුවා අම්බලන්ගොඩ පොලීසිය භාරයේ සිටින බවද සඳහන් කරයි. අම්බලන්ගොඩ පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
එම්. සුසිල් ප්‍රියන්ත
Comments
Post a Comment
Your comment will be visible after approval