sudarma-house-maid-dies

ප්‍රකට ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක හා ව්‍යාපාරික කාන්තාවක වන  සුදර්මා නෙත්තිකුමාරගේ නිවෙසේ සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම නිවසේ මෙහෙකාරිය වැලිකඩ පොලිස් ස්ථානය තුළ දී හදිසියේම රෝගී වී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධියක් පසුගියදා වාර්තාවී තිබුණි.


ව්‍යාපාරික කාන්තාවගේ රාජගිරිය රෝයල් ගාර්ඩ්න් හී නිවසෙහි මෙහෙකාරියක ලෙස සේවය කළ බදුල්ල දෙමෝදර පදිංචිකාරියක වන ආර්. රාජ් කුමාරි නමැති 42 හැවිරිදි තිදරු මවක නිවසේ රන් මුද්දක් සොරකම් කර ඇතැයි කියමින් වැලිකඩ පොලිසියට පැමිණිල්ල සිදු කර තිබූ අතර මෙහෙකාරිය ඒ කාලය වනවිට  රෝයල් ගාර්ඩ්න් හී නිවසෙන් ඉවත්ව බොරැල්ල කොටා පාරේ වෙනත් නිවසක සේවයට ගොස් සිටි බව කියැවේ.


ව්‍යාපාරික කාන්තාවගේ දැනුම්දීමට බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ අණපරිදි
පොලිසිය මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් කොටා පාරේ නිවසේ සේවයේ නිරතව සිටි මෙහෙකාරිය එකවර අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් බලපෑම් සහිතව ප්‍රශ්න කර ඇතැයි වාර්තාවේ.

මෙම නිෂ්පාදිකාව ඉකුත් 11 වැනිදා සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කර පැය කිහිපයක් ඇතුළත වෙනත් නිවසක මෙහෙකාර සේවයේ නිරත මෙම මෙහෙකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව ද
ඇය කඩිනමින් අත්අඩංගුවට ගෙන කෙසේ හෝ නැති වූ රන් මුද්ද සොයාගත යුතු බවට එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද පොලිස්පතිවරයාගේ නියමයෙන් මේ ගැන පොලිස් විශේෂ විමර්ශන ඒකකය කළ විමර්ශනයේදී අනාවරණයවී ඇත.
 ඉකුත් 11 දින අත්අඩංගුවට ගෙන එදින පස්වරු 6.00 පමණ ඇය කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව ද
හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් ඇය රෝහල් ගත කර ඇති ඉන් සුළු මොහොතකට පසු දැඩි සත්කාර ඒකකයේ දී ඇය මිය ගොස් ඇති බවද හෙළි විය.

කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇත්තේ ඇය සිහිසුන් තත්ත්වයකට පත්වීමෙන් අනතුරුව බවද පොලිස් තොරතුරු සඳහන් කළේය.
කිසිදු අසනීපයක් නැතිව සිටි අයෙකු අත්අඩංගුවට ගෙන වැලිකඩ පොලිසියේ රඳවා සිටිය දී එම කාන්තාව අභිරහස් ලෙස මියයාම නිසා පොලිසියේ ක්‍රියාකාරීත්වය වෙත ඇඟිල්ල දිගුව තිබේ.

 ඇගේ මරණය සම්බන්ධයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ලබාදී ඇත්තේද විවෘත තීන්දුවකි. ඇගේ සිරුරේ කොටස් රස පරීක්ෂකවරයාටද යොමු කර ඇති අතර මරණය සිදු වූයේ පොලිස් පහරදීමෙන්ද? එසේත් නැති නම් පොලිස් පහරදීමෙන් ඇති වූ බිය හෝ වෙනත් රෝගී තත්ත්වයක් උත්සන්න වී දැයි මෙතෙක් පැහැදිලිව අනාවරණය වී නැත.

නිවෙස් වලින් බඩු සොරා ගැනීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව මෙතෙක් වෙනත් කිසිදු පැමිණිල්ල ලැබී නොමැති පසුබිමක මෙම මරණය සිදුව ඇතැයි පවසන පොලිස් විශේෂ විමර්ශන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.