sarath-fonseka-speaks

මැක්කකු පොතක් ලියා ඇති බවත් තමා සහ ශවේන්ද්‍ර සිල්වා හිටපු යුද හමුදාපතිවරයා කුමන්ත්‍රණයක් කළේ යැයි සදහන් කරමින් ජනතාවගේ ඔළුවලට විසබීජ ඇතුළු කිරීමට ඔහු එමගින් කටයුතු කර ඇති බවත් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) පැවසීය. මේ කුමන්ත්‍රණය පිටුපස ඇමෙරිකානු තානාපතිවරියද සිටින බව මැක්කා සඳහන් කර ඇතැයි පවසන මන්ත්‍රීවරයා ශවේන්ද්‍ර සිල්වා තමා සමග කතා කළ හෙයින් ඔහු ඉවත් කරන ලෙසට මැක්කා ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කළේය. අරගල සංකල්පය නැවත ගොඩනැගිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේ බදු පනත් පිළිබඳ විවාදයේදීය. සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසීය.

“ජනතාව සතුටින් සිටින බවක් පේන්නෙ නැහැ. අපිට නම් පේන්නේ ලොකු කරදරයක සිටින බව. රටේ දරුවන් ගෙන් සියයට 15 කට මන්දපෝෂණය. දරුවන්ගෙන් සියයට පනහකට හරියට කෑම බීම ලැබෙන්නේ නැහැ. විරැකියාව වර්ධනය වෙනවා. ව්‍යාපාර වැසීගෙන යනවා. හයිඩ්‍රාමනී ඇඟලුම් කම්හල වහලා දාලා තියෙනවා. දහස් ගාණකට රැකියා නැතිවෙලා. මේ සංවර්ධනය ජනතාවගේ ඇඟට දැනෙන්නේ නැහැ. කොහේවත් හංගගෙන කරන සංවර්ධනයකින් රටට වැඩක් නැහැ. සංවර්ධනය අපිට දැනෙන්න ඕන.

“රජය විදුලි බිල වැඩි කරන්න හදද්දී ජනක රත්නායක ඊට විරුද්ධ වුණා. ඊට පස්සේ ආණ්ඩුව ජනක හතුරෙක් විදිහට දැක්කා. පරණ දූෂිත දේශපාලන සංස්කෘතිය නැවත එළියට ඇවිල්ල තියෙනවා. දූෂිත දේශපාලනඥයන් හොඳින් ජීවත් වෙනවා. දරුවන්ගේ අනාගතය බලන්න මේ අයට බැරි වෙලා තියෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය අන්ත දූෂිතයි.

ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගේනවා. රජයේ රෝහල්වල ගෙවන වාට්ටු දානවා. මෙයාලා හදන්නේ සෞඛ්‍ය කඩාකප්පල් කරන්න.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙනුත් මේ අය වංචා කළා. මැක්කෙක් පොතක් ලියාගෙන යනවා. මම ශවේන්ද්‍ර සිල්වා කුමන්ත්‍රණයක් කළාලු. ඇමෙරිකානු තානාපතිවරියත් ඒකට සම්බන්ධ කරලා. ඔය මැක්කා මම හමුදාපති කාලේ මගෙන් උදවු ඉල්ලලා කතා කළා. ශවේන්ද්‍ර සිල්වා මට කතා කරපු නිසා එයා ගෙදර යවන්නලු. අරගල සංකල්පය අපි ගොඩනගන්න ඕන. කිලෝ ගණන් රත්රන් හොරකම් කරපු පුද්ගලයා ආණ්ඩුව මේ පාර්ලිමේන්තුවට ගෙනාවා. මේ වගේ නින්දිත වැඩ කරන්න එපා. මේ වගේ පුද්ගලයන් සිටින සභාවක ඉන්න එක අපිට ලැජ්ජාවක්.
 සුජිත් හේවාජුලිගේ