minuwangoda-incident

ප්‍රසිද්ධ නිරූපිකාවන් දෙදෙනකුගේ නමින් ව්‍යාජ වට්ස්ඇප් ගිණුම් දෙකක් සකස් කර නිරූපණ ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා රූමත් ළාබාල තරුණියන්ගේ නිරුවත් ඡායාරූප උපක්‍රමශීලීව ගෙන්වාගත් පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපරාධ පරිගණක අපරාධ කොට්ඨාසයේ

සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු උසස් පෙළ හදාරන 19 හැවිරිදි සිසුවෙකි. සැකකරු එලෙස උපක්‍රමශීලීව වට්ස්ඇප් ඔස්සේ ගෙන්වා ගත් ළාබාල තරුණියන්ගේ නිරුවත් ඡායාරූප පහළොවකට ආසන්න සංඛ්‍යාවක් ඔහුගේ පරිගණකයේ තිබී පොලිසිය මඟින් සොයාගනු ලැබ ඇත.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ තරුණයකු  ප්‍රසිද්ධ නිරූපිකාවන් දෙදෙනකුගේ නම් භාවිත කර ව්‍යාජ ලෙස සකස් කරන ලද වට්ස්ඇප් ගිණුමක් හරහා ප්‍රසිද්ධ ආයතනවල නිරූපණ ක්ෂේත්‍රයේ රැකියාවලට කැමති රූමත් ළාබාල තරුණියන්ට අවස්ථාව ලබා දිය හැකි බව ප්‍රසිද්ධ කර ඇතැයි පොලිසිය කියයි.  සැකකරු ඒ ඔස්සේ තරුණියන්ගේ නිරුවත් ඡායාරූප උපක්‍රමශීලිව ලබාගන්නා බවට විද්‍යුත් මාධ්‍ය ආයතනයක් හරහා තොරතුරක් ලැබුණ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකකරු ඒ සෑම තරුණියක සමගම සම්බන්ධ වී ඇත්තේ කෙටි පණිවුඩ හරහා බව ද පොලිසිය කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ උපදෙස් මත සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.වී.අයි. ගයශ්‍රී මහතාගේ මෙහෙයවීමෙන් ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.සැකකාර පාසල් සිසුවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බිමල් ශ්‍යාමන් ජයසිංහ