
වැටුණු රට ගොඩගන්න ඉදිරිපත් වූ එකම නායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කළ බව පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දුන් පාණදුර ආරියවංශ ධර්මායතනාධිකාරි දඹගොල්ලේ පදුමසිරි හිමියෝ පැවැසූහ.
උන්වහන්සේ සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වමින් පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පෙරේදා (16) හමු වූ අතර,
එහිදී දඹගොල්ලේ පදුමසිරි හිමියෝ මෙලෙස මාධ්‍යයට අදහස් දැක්වූහ.
“මම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජනාධිපති සටනේ ඉදිරියෙන්ම සිටි හිමි නමක්. ඒත් මේ මොහොතේ මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දෙන්න ඉදිරිපත් වෙලා ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහතා ගැන අපට හඳුන්වලා දී තිබුණේ කොන්ද පණ නැති නායකයෙක් කියලයි. නමුත් අපේ රට වැටුණු වෙලාවේ කොන්ද පණ ඇතැයි කියන නායකයන්ට ආරාධනා කළා. ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළ මොහොතේ කොන්ද පණ නෑ කියූ රනිල් වික්‍රමසිංහ මහතා ඒකට ඉදිරිපත් වුණා.
ඒ මහතා මේ රට ගොඩගත්තා. දැන් අපට පෙනෙනවා, කාටද කොන්ද පණ තියෙන්නේ, කාටද කොන්ද පණ නැත්තේ කියලා. අපට දැන් ඒ මහතා සම්බන්ධව තිබෙන්නේ පුදුමාකාර පැහැදීමක්. ඒ නිසා පක්ෂ, පාට සියල්ල පසෙක ලා ඒ මහතාට සහාය දෙන්න අපි ඉදිරිපත් වුණා. ඔබ සියලු දෙනාමත් ඒ මහතාට සහාය දෙන්න කියා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.”
Comments
Post a Comment
Your comment will be visible after approval