may-day-2023-places

වැඩකරන ජනතාවගේ අභිමානය සමරමින් හෙට මැයි 01 සඳුදා මැයි රැලි සහ සමරු උත්සව පැවැත්වීමට දේශපාලන පක්‍ෂ, වෘත්තිය සමිති හා බහුජන සංවිධාන කටයුතු යොදා තිබේ.

  • ජනතා විමුක්ති පෙරමුණේ රැලියේ පෙළපාලිය කොළඹ බී.ආර්.සී ක්‍රීඩාංගණයෙන් ආරම්භ කර කොළඹ විහාරමහා දේවි උද්‍යානය දක්වා පැමිණ එම උද්‍යානය අසලදී පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
  • සමගි ජනබලවේගයේ මැයි රැලිය විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිටකොටුව ඒ. ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
  •  මැයි රැලියක් අතරතුර ජීවිතක්‍ෂයට පත්වූ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ ගුණ සමරු පිංකම කොළඹ ආමර්වීදියේ පිළිරුව අසලදී හා කොළඹ අලුත්කඩේ ප්‍රේමදාස මහතාගේ පිළිරුව අබියසදී පැවැත්වේ.
  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම මැයි රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී පවත්වයි.
  • ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැයි රැලිය හිටපු ජනාධිපති පක්‍ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පොදු වෙළෙඳ පොළ ඉදිරිපිටදී පැවැත්වේ.
  • එක්සත් ජාතික පක්‍ෂයේ මැයි දින රැලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත.
  • ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂයේ නායකයා හැටියට ඊට එක් නොවන අතර සූම් තාක්‍ෂණය ඔස්සේ එම රැලියට තම සුභ පැතුම් එක් කිරීමට නියමිතය.
  • උත්තර ලංකා සභාගයේ පෙළපාලියවිහාරමහා දේවි උද්‍යානය අසලින් ඇරඹී පසුව එහි මැයි රැලිය කොළඹ හයිඩ් පිටියේදී සවස පැවැත්වෙයි. ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය, ලංකා සම සමාජ පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, විජයධරනි ජාතික සභාව, යුතුකම ජනතා පක්‍ෂය ඒ සඳහා එක්වනු ඇත.




  • පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැයි දින සැමරුම නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී සවස පැවැත්වේ.
  • මහජන පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක් එක්ව සිදු කරන මැයි දින සැමරුම බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පවත්වනු ඇත.
  • නිදහස් ජනතා සභාවේ මැයි දින රැලිය මහනුවර සහස් උයන පරිශ්‍රයේදී පස්වරුවේ පැවැත්වේ.
  • ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ (සී.එම්.යූ.) මැයි රැළිය 01 වැනිදා පෙරවරු 9.30ට කොළඹ 03 ගාලු පාරේ බාලා තම්පෝ පටුමගේ පිහිටි එම සංගම් ශාලාවේදී පැවැත්වේ.
  • නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති පවත්වන මැයි දින රැලිය කොළඹ මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
  • මීට අමතරව වතුකරයේ වෘත්තීය සමිති සහ දේශපාලන පක්‍ෂ කීපයක් මැයි දින රැලි එම ප්‍රදේශවල පැවැත්වීමට නියමිතය.





හෙට (01)  දින පැවැත්වීමට නියමිත දේශපාලන රැළි සඳහා සියලු ආරක්ෂක විධි විධාන යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
පොලිස් නිලධාරීන් 3,500කට ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා ක්ෂේත්‍රයේ රාජකාරි යොදවා ඇතැයිද පොලිසිය සඳහන් කරයි.