heat-weather-sri-lanka

මේ දිනවල දිවයිනට බලපා ඇති අධික උණුසුම් කාලගුණය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි, සෞඛ්‍ය අංශ ජනතාවට දන්වා තිබේ.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ, පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සඳහන් කර ඇත්තේ සිරුර සිසිල් කරවන ආහාර මෙම දිනවල වැඩි වශයෙන් ලබාගත යුතු බවයි.
අවදානම් කාණ්ඩ ඒ පිළිබඳ විශේෂ සැළකිල්ලක් දැක්විය යුතු බව ද, විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සඳහන් කළා ය.

දිවයිනේ ප්‍රදේශ ගණනාවක පවතින අධික උණුසුම් තත්ත්වය ලබන මැයි මාසය දක්වාම පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා අනාවැකි පළව තිබේ.


 
 විශේෂයෙන්ම මාර්තු, අප්‍රේල් මාසවල රාත්‍රී කාලයේ දී වැඩි උණුසුමක් ඇතිවන්නට හේතුව මාර්තු මාසයේ අවසාන කාලයේදී අන්තර් මෝසම සක්‍රීය වී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි ආරම්භවීමත් එම කාලයේදීත් දහවල කාලයේ දැඩි උණුසුමක් පැවතීමත් නිසාය.

 ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම ද අප්‍රේල් මාසයේදී සිදුවන අතර මේ හේතුවෙන් සෘජු බලපෑමට දිවයින ලක්වේ.

 
විශේෂයෙන් ළදරුවන්,  අවුරුදු 4 ට අඩු ළමයින්, අවුරුදු 65 ට වැඩි වයස්ගත පුද්ගලයින්, තරබාරු පුද්ගලයින් ,  අධික ලෙස කය වෙහෙසවන අය සහ රෝගී පුද්ගලයින් මෙම තත්ත්වයෙන් ආරක්ෂා විය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වාදී ඇත.



අධික උණුසුම් කාලගුණයෙන් වියහැකි අයහපත් ශාරීරික බලපෑම් අවම කරගැනීමට ගත හැකි ප්‍රධානම පියවර වන්නේ ජලය වැඩි ප්‍රමාණයක් පානය කිරීම වන අතර කය වෙහෙසවන අවස්ථා වලදී පැයකට ජලය වීදුරු 2 ත් 4 ත් ප්‍රමාණයක් ගැනීම සුදුසු බව ද එහි සඳහන්ය.
         
 හැකි සෑම විටම ගෘහස්ථව හෝ ආවරණ සහිත ස්ථාන වල හෝ සෙවන ඇති ස්ථාන වල රැදී සිටීම, වායු සමීකරණ හෝ විදුලි පංකා භාවිතය, සිසිල් ජලයෙන් ස්නානය කිරීම හෝ ඇඟ සේදීම ලා පැහැති,  කපු රෙදි වලින් මැසූ සැහැල්ලු ඇඳුම් ඇඳීම, සිරුර හිරු රශ්මියෙන් ආරක්ෂා කර ගැනීමට තොප්පියක් පැළඳීම හා කුඩයක් භාවිතා ආදී පියවර අනුගමනය කළ යුතු බව ද සඳහන්වේ.