badulla-accident-two-deaths


පාසල් ක්‍රිකට් (බිග් මැච්) තරගයක් අතරතුර මාර්ගයේ මෝටර් රථ සංදර්ශනයක නිරතවී සිටියදී කොන්ක්‍රීට් කණුවක ගැටී පෙරළී සිදුවූ අනතුරකින් සිසුන් 08 දෙනෙකු තෙරපුම් තුවාල ලබා ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ. ඉතිරි 06 දෙනාගෙන් දෙන්නෙකුද බරපතල තත්වයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.


බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ආසන්නයේ ඇති නව ක්‍රීඩාංගණයේදී අද (01) දහවල් සෆාරි කැබ් රථයක් පෙරළී එහි සිටි සිසුන් මෙලෙස අනතුරට ලක්වී ඇත.
තුවාල ලැබූ සිසුන් රෝහල වෙත රැගෙන යන අතරතුර දෙදෙනෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.
තවත් දෙන්නෙකු බරපතල තත්වයේ පසුවන බවද වාර්තාවේ.
රථයේ පමණට වඩා අධික පිරිසක් ගමන් කර තිබීම අනතුරට එක් හේතුවක් වී ඇතැයිද වාර්තා විය.
 ඌව විද්‍යාලය සහ බදුල්ල ධර්මදූත විදුහල් අතර 74 වැනි 'ඌව සුලෝහිත සංග්‍රාමය' වාර්ෂික ක්‍රිකට් තරගය අද (01) අවසන් දිනට පැවැත්වෙමින් පැවතිණි.


බදුල්ල පොලිස් වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේ පාසල් ක්‍රිකට් තරඟයට (Big Match) සමගාමීව ළමුන් විසින් සංවිධානය කල රථ පෙළපාලියක් අවසානයේ එහි ගමන් කල කැබ් රථයක් බදුල්ල නගරයේ පිහිටි නගර සභාවට අයත් හිස් ඉඩමක වට කරකවමින් ධාවනය කරමින් සිටි බව මේ පිලිබඳ විමර්ශනය කළ පොලිසිය ප්‍රකාශ කරයි.

එසේ වාහනය විනෝදයට කරකවමින් ධාවනයේ යෙදෙමින් තිබියදී ඉඩම මධ්‍යයේ පිහිටි කොන්ක්‍රීට් කණුවක ගැටී පෙරලීමෙන් අනතුරක් සිදු වී ඇති බව පැවසිණි. අනතුරින් කැබ් රථයේ ගමන් කළ පාසල් ළමුන් 08 දෙනෙකු තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුලත් කිරීමේදී ළමුන් දෙදෙනෙකු මියගොස් තිබුණ අතර දෙන්නෙකු බරපතල තත්වයේ පසුවන බව රෝහල් ආරංචි තහවුරු කළේය. රෝහලේ වෛද්‍යවරයෙකු පැවසුවේ
වාහනය වැටෙන අවස්ථාවේ වාහනයේ සිටි පිරිස වැඩිවීම නිසා තෙරපීමට ලක්වී සිදුව ඇති බවත් ජීවිත හානි ඇතිවූයේ එම තෙරපීමෙන් ඇතිවූ තුවාල නිසා බවත්ය.
සිසු දරුවන් ඇතැමුන් ටියුෂන් යන බව නිවසට කියා මෙම පැරඩ් එකට සහභාගී වී තිබුණ බවද වෛද්‍යවරයා හෙළි කළේය.
අනතුර සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.