
පොල්පිතිගම ප්‍රදේශයේ බස් නැවතුම්පොළක රැඳී සිටි විසි එක් හැවිරිදි තරුණියක යතුරුපැදියක නංවාගෙන බලහත්කාරයෙන් කැඳවා ගෙන ගිය පුද්ගලයෙකු එම තැනැත්තාගේ නිවෙසට රැගෙන ගොස් තදබල ලෙස පහර දී එම තරුණියට ලිංගික අතවර කළේ යැයි කියන සිද්ධියක් වාර්තාවේ.
මෙම පුද්ගලයා මේ වනවිට ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්ව තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර මෙම පුද්ගලයාගේ පහරකෑමට ලක්වූ බව කියන තරුණිය ද රෝහල් ගත කරනු ලැබ සිටී.
පරිගණක පන්තියකට සහභාගි වී නිවෙසට යෑමට තරුණිය පෙරේදා (14) සවස් කාලයේ පොල්පිතිගම ප්‍රදේශයේ බස් නැවතුම් පොළක රැඳී සිට ඇත. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු තරුණිය ඇගේ නිවසට කැඳවාගෙන යන්නම් යැයි කියා කතා කර ඇතැයි පොලිසිය කියයි. රෑ බෝවීගෙන එන නිසාත් බස්රථයක් නොපැමිණි නිසාත් තරුණිය යතුරුපැදියට ගොඩ වූ අවස්ථාවේ එම පුද්ගලයා තරුණිය බලහත්කාරයෙන් ඔහුගේ නිවසට රැගෙන ගොස් ඇතැයි පොලීසිය පැවසීය.
නිවස තුළට තරුණිය ඇදගෙන ගොස් ඇති අතර ඔහුගෙන් බේරී පලා යෑමට උත්සාහ කළ අවස්ථාවේ ඔහු තරුණියට පහරදී ලිංගික අතවර සිදුකර ඇති බව පොලීසිය කියයි. තරුණියගේ කෑගැසීම නිසා අසල්වාසීන් පිරිසක් පැමිණ එම පුද්ගලයා අල්ලාගෙන ඔහුට හොඳ හැටි පහර දී පොල්පිතිගම පොලීසියට භාරදීමෙන් පසුව ඔහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. පහර කෑමට ලක්වී සිටි මොහු මුලින්ම පොල්පිතිගම රෝහලට ඇතුළත් කර පසුව කුරුණෑගල රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන ලදැයි පොල්පිතිගම පොලිසිය වැඩිදුරටත් කීය. පොල්පිතිගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
Comments
Post a Comment
Your comment will be visible after approval