pannipitiya-dewram-vehera-wedding

පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරස්ථානය මගින් ජනතාවට නොමිලයේ ලබාදීම සඳහා විවාහ මංගල්‍ය උත්සව ශාලාවක් ඉදිකර ඇත. විවාහ මංගල්‍යයන්හි දී සිදුකරන පෝරුවේ චාරිත්‍ර, සෙත් පිරිත් සජ්ඣායනා සහ අනෙකුත් සිරිත් සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් එම සුඛෝපභෝගී ශාලාව සමන්විත වන බව කොළොන්නාවේ සුමංගල අමරපුර සිරි සුමන මහා නිකායේ මහනායක හිමියෝ පැවසූහ.



ආර්ථික අපහසුතා තිබෙන තරුණ තරුණියන්ට සිය විවාහ මංගල්‍ය    උත්සවය කල්දමා සිටින තරුණ තරුණියන්ට  එම ශාලාව නොමිලයේ ලබාදෙන බවද එම සුඛෝපභෝගී ශාලාව ආසන 200කින් සමන්විත බවද මහ නාහිමියෝ කීහ. එලෙස ශාලාව නොමිලයේ ලබාගෙන අමුත්තන් සඳහා ආහාර ලබාදීමටත් අපහසුනම් එම ආහාරපානාදියද නොමිලයේ ලබාදීමට තමන් වහන්සේ කටයුතු කරන බවද සුමංගල මහ නාහිමියෝ පැවසූහ. ආර්ථික අපහසුතා තිබෙන තරුණ තරුණියන්ට සිය විවාහ මංගල්‍ය උත්සවය සිදුකිරීමට අවශ්‍ය මුදල් ආධාර ලබාදීමට විවිධ සංවිධාන ඉදිරිපත්ව සිටින බවද  නාහිමියෝ කීහ.

පන්නිපිටිය දෙව්රම් විහාරස්ථ මංගල උත්සව ශාලාව තුළ සරල සංගීතය භාවිත කිරීමට අවසර තිබෙන අතර මත් වතුර පානය සපුරා තහනම් බවද සුමංගල මහ නාහිමියෝ කීහ. නොමිලයේ විවාහ මංගල්‍ය උත්සව ශාලාව  ලබාගැනීමට ඉල්ලුම් කරන යුවළ පිළිබඳව සහ ඔවුන්ගේ පවුල් පසුබිම පිළිබඳව සොයාබැලීමකින් අනතුරුව එය ලබාදීමට පියවර ගන්නා බව ද මහ නාහිමියෝ පැවසූහ.

රංජන් කස්තුරි