
මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයේ රතිඤ්ඤා ව්‍යාපාරිකයකුගේ මුහුණට බෑගයක් දමා අත් ගැට ගසා ඔහු සතුව තිබූ රුපියල් 369,000කොල්ලකා පලා ගිය බව කියන තරුණයෙක් සහ ඔහුගේ පෙම්වතිය බව පැවසෙන තරුණියක කටාන පොලිසිය විසින් පෙරේදා (13) අත්අඩංගුවට ගනු ලැබිණි. මෙම මුදල් කොල්ලය සැලසුම් කළේ යැයි කියමින් සැකකාර තරුණියගේ පනස් දෙහැවිරිදි මව ද අත්අඩංගුවට ගෙන ඇති අතර කොල්ලකෑ මුදලින් රුපියල් 367,000 මුදලක් පොලිසිය විසින් සොයාගනු ලැබ ඇත.
මුදල් කොල්ලයට ගිය තරුණයට අයත් යතුරුපැදියද පොලිස් භාරයට ගනු ලැබීය.
වාර්තාවන ආකාරයට මෙම කොල්ලය පසුපස ඇති කතාව එළියට එන්නේ මෙම අත්අඩංගුවට ගැනීමත් සමගිනි.
සැකකාර තරුණිය හා තරුණයා ළඟදීම විවාහ වීමේ අපේක්ෂාවෙන් සිට ඇති බවද පැවසේ. අත්අඩංගුවට ගත් තිදෙනාම රතිඤ්ඤා නිෂ්පාදකයා ළඟ සේවය කරන අය බව වාර්තාවේ. මුදල් කොල්ලය සැලසුම් කර දියණිය හා අනාගත බෑනා ව්‍යාපාරිකයාගේ නිවසට පිටත් කර ඇතැයි කියන්නේ 52 හැවිරිදි මෙම සැකකාර කාන්තාව බවද පොලිසිය කියයි. රතිඤ්ඤා නිෂ්පාදකයා රාත්‍රී කාලයේ කිඹුලාපිටියේ නිවසේ තනියම නිදාගෙන සිටියදි යතුරුපැදියකින් තරුණයා සහ ඔහුගේ පෙම්වතිය බව කියන තරුණිය පැමිණ තිබේ.
නිදාගෙන සිටි ව්‍යාපාරිකයාගේ මුහුණට බෑග් එකක් දමා අත් දෙක ලණුවකින් ගැට ගසා මරණ බවට තර්ජනය කර මුදල් තිබෙන ස්ථානය කටහඬ වෙනස් කර කතා කර අසාගෙන ඇතැයි පැවසේ. ව්‍යාපාරිකයා ඔහු හැඳ සිටි කලිසම් සාක්කුවේ මුදල් දමා එම කලිසම නිදා ගන්නා ඇඳේ මෙට්ටය යට සඟවා තිබී ඇති අතර, එම ස්ථානයෙන් මුදල් පැහැරගෙන දෙදෙනාම යතුරුපැදියේ නැගී පලා ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම මුදල් කොල්ලය සිදු කරනු ලැබුවේ තමා ළඟ සේවය කරන සේවිකාවක හා සේවකයකු බවට ව්‍යාපාරිකයා හඳුනාගෙන නොතිබිණි.
කොල්ලය සිදුකළ දිනට පසු දින ව්‍යාපාරිකයාගේ සේවා ස්ථානයට මොවුන් තිදෙනාම පැමිණ තිබේ.
මව හා දියණිය ව්‍යාපාරිකයාගේ මුහුණ වසා දැමීමට යොදා ගත් බෑග් එක හා ඔහු ගැට ගැසීමට යොදා ගත් ලණුව වතුරෙන් සෝදා හරින අයුරු සේවකයන් කිහිප දෙනකු දැක ඒ බව ව්‍යාපාරිකයාට දැනුම් දී ඇත. එසේ කිරීම ගැන ව්‍යාපාරිකයාට ඇති වූ බලවත් සැකයක් මත ඒ සම්බන්ධයෙන් ද ඔහු පොලිසියට පවසා තිබේ. ව්‍යාපාරිකයා දුන් මෙම හෝඩුවාව අනුව පරීක්ෂණ පවත්වා හෙළි වූ තොරතුරු මත තරුණයා, ඇයගේ පෙම්වතිය බව කියන තරුණිය හා තරුණියගේ මව සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.
ව්‍යාපාරිකයාගේ මුහුණ වැසීමට යොදාගත් බෑගය හා අත් දෙක ගැට ගැසීමට යොදා ගත් ලණුව සෝදා හරිනු ලැබුවේ පොලිස් නිල සුනඛයකු පරික්ෂණ සඳහා යොදා ගනු ලැබුවහොත් ඉව ලබා ගැනීමට ඉඩක් නොතැබීමට යැයි සැකකාර තරුණිය සහ ඇයගේ මව පොලීසියට පවසා ඇතැයි කියති. අත්අඩංගුවට ගත් සැකකාර තරුණිය සහ ඇයගේ මව කිඹුලාපිටිය ප්‍රදේශයේ පදිංචි අය වන අතර සැකකාර තරුණයා හලාවත, මාදම්පේ, පම්බල ප්‍රදේශයේ පදිංචි අයෙකි.
ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval