mahinadananda-katunayake

 හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විදේශ ගතවීමට දැරූ උත්සාහයකින් පසු කටුනායක ගුවන් තොටුපළේදී නැවත හරවා එවා තිබූ සිදුවීමක් පසුගිය සිකුරාදා වාර්තා විය.


ඔහුව හරවා එවන්නට හේතුව ඇත්තේ අධිකරණයෙන් පැනවූ විදේශ ගමන් තහනමක් ඇති බව පවසමිනි. නමුත් මෙය දත්ත දෝෂයක් නිසා පෙන්නුම් කළ අත්වැරැද්දක් බව මේ වනවිට තහවුරු කරගෙන ඇති අතර හිටපු ඇමතිවරයාට අද (11) විදේශ ගතවීමට යලි අවසර ලබාදී ඇත.

විදේශගතවීම වැළැක්විමේ සංසිද්ධිය හිටපු ඇමතිගේ උදහසට හේතුවූ අතර මේ හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු පරීක්ෂණ අවසන් වනතුරු වැඩ තහනම් කර තිබේ.



හිටපු අමාත්‍යවරයා පුද්ගලික සංචාරයක් සඳහා රටින් පිටවීම සඳහා සිකුරාදා රාත්‍රියේ BIA වෙත පැමිණි අතර, මතුගම අධිකරණය මගින් පනවා ඇති විදේශ ගමන් තහනමක් පවතින බව පවසමින් ආගමන විගමන නිලධාරීන් විසින් එය වළක්වා ඇත.

ඒ අනුව ඔහුට සිය විදේශ සංචාරය අවලංගු කරන්නට සිදුව ඇත. කෙසේ වෙතත්, මතුගම අධිකරණයෙන් තමන්ට එරෙහිව එවැනි නඩුවක් හෝ විදෙස් ගමන් තහනමක් පනවා නොමැති බව ඔවුන්ට දැනුම් දුන් නමුත් දත්ත පද්ධතියේ එය පෙන්නුම් කරන නිසා රට යන්න ඉඩදි නැත.

හිටපු අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ආගමන විගමන පාලක ජනරාල්වරයාට දන්වා ඇති අතර එහිදී දත්ත පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මෙම සිද්ධිය සිදුව ඇති බව අනාවරණය වී තිබේ.



පද්ධතියේ දෝෂය නිවැරදි කර විදේශ ගමන් සඳහා අවසර ලබාදෙන බව ඔහු හිටපු අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

මේ සම්බන්ධයෙන් ලබන සඳුදා පරීක්ෂණයක් පවත්වන බවත්, ඒ වන විට රාජකාරියේ යෙදී සිටි ආගමන විගමන නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බවත් පාලක ජනරාල්වරයා පැවසීය.

අලුත්ගමගේ මහතාට මීට පෙර කොළඹ මහාධිකරණයෙන් විදේශ ගමන් තහනම් කර තිබූ නමුත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ තහනම ඉවත් කිරීමට ඔහු පියවර ගත්තේය.

මීට ඉහත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාද ඇමරිකාව බලා පිටත්ව යාමට සූදානමින් කටුනායකට පැමිණි අවස්ථාවේ මේ ආකාර අත්දැකීමකට මුහුණ දුන් අතර ඔහුටද එවැනි උසාවි තහනමක් තිබී එය උසාවිය මගින්ම ඉවත්කර ඇති බව ගුවන්තොටුපළදත්ත වල යාවත්කාල නොවීම ගැටලු මතුකරතිබුණි. පසුව අවශ්‍ය ලිපි ලේඛන ගෙන්වා ගෙන දිනකට දෙකකට පසු රන්ජන් දෝෂය නිවැරදි කරගෙන විදෙස් ගත විය.