covid19-uk

බ්‍රිතාන්‍ය රජය සතුව තිබූ පවුම් බිලියන 21කට ආසන්න මහප්න මුදල් ප්‍රමාණයක් COVID-19 වසංගත කාලසීමාවේදී රජයට අහිමිවී ගොස් ඇතැයි එරට ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක් මගින් අනාවරණය කර සිටියි. වසර දෙකක් වන අදාළ කාලසීමාවේදී රජයේ ආයතන විසින් ක්‍රියාත්මක කරන ලද විවිධ COVID-19 වසංගතය පිටුදැකීමේ වැඩසටහන් හේතුවෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේසා විශාල මුදල් ප්‍රමාණයක් රජයට අහිමිවී ගොස් තිබෙන බව එම කාර්යාලය පවසයි. එසේම ලෙස බදු ගෙවීම් පැහැර හැරීම් ඇතුළු කාරණා ඊට ඇතුළත් වන බවද සඳහන් වෙයි.

ඔවුන් පවසන ආකාරයට මෙලෙස රජයට අහිමි වී ගොස් ඇති මහප්ත මුදල් පවුම් බිලියන 21ක් අතරින් පවුම් බිලියන 7.3ක්ම එම වසංගත කාලසීමාවේදී රජය විසින් හඳුන්වාදුන් විවිධ සහන පැකේප් වැඩසටහන් හා සම්බන්ධිතය.  ඒ අනුව, මෙම මුදලින් වැඩි කොටසක් යළිත් රජ්ය වෙත ලබාගැනීම සඳහා ඇත්තේ ඉතාමත් අල්ප අවස්ථාවක් බවත් එම කාර්යාලය අනතුරු අගවා තිබේ. එහෙත් මෙම මුදල් සියල්ලක්ම එරට බදු ගෙවන්නන්ගේ මුදල් බවත්, එම මුදල් යළිත් රජයට ලබා ගැනීමට හැකි උපරිමය කළ යුතුව ඇති බවත් එම කාර්යාලය වැඩිදුරටත් පවසයි. ඒ සඳහා ප්‍රමාණවත් වංචා වැළැක්වීමේ ක්‍රමවේද සහ නීති ගෙන ආ යුතු බව එහි අදහස වී තිබේ.



විශේෂයෙන්ම මෙම වසංගත කාලසීමාව බ්‍රිතාන්‍ය තුළ විවිධ මූල්‍ය වංචාවන් සඳහා තෝතැන්නක් වූ බවට එම කාර්යාලයේ අදහස වී තිබේ. ඔවුන් පෙන්වාදෙන ආකාරයට වසංගතයට වසර දෙකකට පෙරාතුව සිදුව ඇතැයි අනාවරණය වී ඇති වංචාවන්හි වටිනාකම පවුම් බිලියන 5.5කි. ඒ අනුව, මෙය පසුගිය වසර දෙකේදී සිවුගුණයක ඉහළ යාමකි. එහිදී වසංගතය සඳහා ලබාදුන් සහන හරහා බදු ගෙවීම් පැහැර හැරීමේ සිදුවීම් මූලික වෙයි. එසේම, මෙම වංචාවන්ට හසුවුණු  රජයේ ආයතන බොහෝමයක්ම වසංගත කාලසීමාවේදී තමන් මුහුණ දුන් එම වංචාවන් සම්බන්ධයෙන් හෝ ඒ හරහා අහිමි වූ බදු ගෙවන්නන්ගේ මුදල් ප්‍රමාණය  පිළිබඳව හෝ දැනුවත්භාවයකින් නොසිටින බවත් එම වාර්තාව පවසයි.

දැනටමත් බ්‍රිතාන්‍යයේ බදු එකතු කිරීමේ ආයතනය වන MHRC - HM Revenue and Customs මගින් මෙම මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් තොරතුරු රැස් කරමින් සිටින බව පැවසෙයි. ඒ හරහා මූලික අවස්ථාව ලෙස පවුම් බිලියන 4.5කින් පවුම් බිලියන 1.1ක් ආපසු ලබා ගැනීම අපේක්ෂාව වී තිබේ.

"මෙම රජයේ ආයතන අතරින් රැකියා සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව තුළ වසංගත කාලසීමාවේදී ලබාදුන් ණය සහන පහසුකම් හරහා පවුම් මිලියන 500ක පමණ වංචාවක් සහ වැරදි ඉතිරිකිරීම් ප්‍රමාණයක් සිදුව තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව දැන් එම සිදුවීම සම්බන්ධයෙන් ඉලක්ක කරමින් අදාළ තැන් හදුනාගෙන එම මුදල් ආපසු ලබා ගැනීමක් සම්බන්ධයෙන් සැලසුම් කරමින් සිටිනවා.” යනුවෙන් මෙම වාර්තාව පවසයි.  මේ අතර, බොහෝමයක් රජයේ ආයතන මගින් පසුගිය වසංගත  කාලසීමාව සම්බන්ධයෙන් සකස් කළ වාර්ෂික වාර්තා සහ ගිණුම් සටහන් තුළ  වංචාකාරී වාර්තා කිරීම්හි වැඩිවීමක් දැකගත හැකි වූ බවත් විගණන කාර්යාලය සදහන් කර තිබේ.

“මෙය ඉතාමත් නරක තත්ත්වයක්. මොකද බදු ගෙවන්නන්ගේ මුදල් අහිමිවීමක් වගේම, මෙය රජයේ දූෂණ වංචා සම්බන්ධයෙන් දරුණු චෝදනාවක් සහ අවදානමක් එල්ල වන අවස්ථාවක්. මෙය හඳුනාගෙන පාලනය නොකළොත්, එය රජය පිළිබඳ ජනතාවගේ විශ්වසනීයත්වයට වගේම, මහප්න සේවාවන්හි අඛණ්ඩතාව වෙත බලපෑම් එල්ල කරාවි.” යනුවෙන් ජාතික විගණන කාර්යාලයේ ප්‍රධානී ගැරෙත් ඩේවියස් පවසා තිබේ. මේ අතර පසුගිය 2022 වසරේදී ස්ථාපිත කෙරුණු රාජ්‍ය අංශයන්හි වංචා අධිකාරිය (PSFA) මගින් මෙලෙස වසංගත කාලසීමාවේදී සිදුවුණු වංචාවන් බොහෝමයක්ම හඳුනාගැනීමට අවස්ථාව උදාවූ බවත් ඔහු සඳහන් කර තිබේ.



මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති බ්‍රිතාන්‍ය රජයේ ප්‍රකාශකවරයා, "අපි මේ රාජ්‍ය අංශයෙන් සිදුව ඇති වංචාවන් සම්බන්ධයෙන් හදුනාගන්නටත්, බ්‍රිතාන්‍ය බදු ගෙවන්නන්ගෙන් සොරකම් කර ඇති සෑම පවුමක්ම යළිත් ලබා ගැනීම සම්බන්ධයෙනුත් සහතික වෙනවා.” යැයි පවසා තිබේ. එසේම, පසුගිය වසර දෙකේදී අහිමිවූ   මුදලින් පවුම් බිලියන 3.1ක මුදලක් ආපසු ලබාගැනීමට රජය සමත්ව ඇති බවත්, ඒ අතර COVID-19 සහන වැඩසටහන් හරහා සිදුකළ වංචාවන්ගේ මුදල්ද වන බවත් ප්‍රකාශකවරයා පවසා තිබේ. එසේම මෙම මුදල් ආපසු ලබාගැනීම සඳහා තමන්ට තවත් බොහෝ දේ කළ හැකිව ඇති යැයි පිළිගන්නා බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත. ඒ අනුව, මහජනතාවගේ මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම වංචාවන් වළක්වා ගැනීම වෙනුවෙන් වඩා වැඩියෙන් තාක්ෂණය යොදා ගැනීමටත්, නිලධාරීන් වෙත වැඩි පුහුණුවක් ලබාදීමටත් කටයුතු කරන බවත් බ්‍රිතාන්‍ය රජය පවසා තිබේ.