chandrika-speaks

තමා ජනාධිපති ධුරයේ සිටියදී හොංකොං ව්‍යාපාරිකයකු අල්ලස් ලබාදෙන්නට හැදූ සිද්ධියක් හා එය තමා ප්‍රතික්ෂේප කළ ආකාරය නව ලංකා නිදහස් පක්ෂයේ තරුණ සම්මේලනය අමතමින් හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පැවසුවාය.
එවක නියෝජ්‍ය ඇමතිවරියකගේ කීමට හොංකොං ව්‍යාපාරිකයකු ශ්‍රී ලංකාවේ පුද්ගලයකු සමග පැමිණ, ඇමෙරිකානු ඩොලර් මිලියන පහක් පාර්ලිමේන්තු කාර්යාලයේ තමාගේ මේසය මත තැබූ බවත්, එම මුදල ලබාදීමට හැදුවේ ඔවුන්ගේ හොරකමක් නිදහසේ කරගෙන යෑම සඳහා සහාය ගැනීමට බවත්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවැසුවාය. 

පොලීසිය කැඳවන්න කලින් එම මුදල් නැවත රැගෙන යන්නැයි තමා ඒ අවස්ථාවේදී  ඔවුන්ට තදින් පැවැසීමත් සමග එම මුදල් රැගෙන ගිය බව ද ඇය සඳහන් කළාය.

තමාට පගාව ආ දෙන්න ලංකාවේ කොමිස්කාරයාගේ බිරිඳ නියෝජ්‍ය ඇමැතිවරියක වූ හෙයින්, ඒ පුද්ගලයන් පොලීසියට අල්ලා දීමට බැරි වූ බව පැවැසූ කුමාරතුංග මහත්මිය, ඒ අවස්ථාවේ  ආණ්ඩුව තිබුණේ එක ඡන්දයකින් නිසා අකැමැත්තෙන් වුව එසේ කටයුතු කිරීමට සිදු වූ බව ද සඳහන් කළාය.

මේ අතර, යහපාලන කාලයේදී රාජපක්ෂ සමයේ හොරකම් ඇල්ලීමට පත් කළ පොලිස් නිලධාරීන් අවසානයේදී දූෂිතයන් බවට පත් වූ බවත්, එම සමයේදී හොරු ඇල්ලීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වූ බවත්, හිටපු ජනාධිපතිවරිය වැඩිදුරටත් කීවාය.

සුජිත් හේවාජුලිගේ