anuradapura-doctor-migration

වෛද්‍යවරුන් සිවුදෙනාම රටහැර විදේශ පදිංචියට යෑම නිස  අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කළ ළමා රෝග විශේෂඥ එම රෝහලේ ළමා වාට්ටුවක් ඊයේ (30) සිට වසා දමා ඇත.  රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයට අයත් එම ළමා වාට්ටුව වසා දැමීම නිසා වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබා ගැනීමේ අවස්ථා ද අහිමි වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත කරුණාරත්න මහතා පැවසීය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටු අතරින් ප්‍රධානම වාට්ටුව මෙලෙස වැසී යාම බරපතළ තත්ත්වයක් බව ද තවත් විශේෂ වෛද්‍යවරුන් පිරිසක් රටහැර යෑමේ සූදානමකින් පසුවන බව ද  වෛද්‍ය රාජකරුණා මහතා කීය.



මහාචාර්ය ඒකකයට අයත් මෙම ළමා වාට්ටුවේ අවසන් වසරේ වෛද්‍ය සිසුන් 210 දෙනකු පුහුණුව ලබමින් සිටි බවත් ඔවුන්ට එම අවස්ථාව මේ වන විට මගහැරී ගොස් ඇති බවත් රාජකරුණා මහතා පැවසීය.  තඹුත්තේගම මූලික රෝහලේ හැරුණු කොට අනුරාධපුරය දිස්ත්‍රිකකයේ කිසිදු රෝහලක ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන් නොමැති බව පැවසූ සහකාර ලේකම්වරයා මේ නිසා දිස්ත්‍රික්කයේ ජනතාව බරපතළ ගැටලුවලට මුහුණ දෙමින් සිටින බව ද සඳහන් කළේය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ සේවය කිරීමට කිසිදු ස්ථිර වෛද්‍යවරයකු මේ වන විට නොමැති බව ද හිටපු වෛද්‍යවරුන් විදේශගත වී ඇති බව ද ඔහු කීය.

වෘත්තිකයන්ට සුදුසු පරිසරයක් රට තුළ නැතිවීම, අත්තනෝමතික බදු ප්‍රතිපත්තිය, ජීවන වියදම ඉහළයාම ආදි කරුණු හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන් රටහැර යන තත්ත්වයක් උද්ගතවන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත් කාලයේ දිගින් දිගටම අනතුරු ඇඟවීම් කළ බව ද ඔහු කීය. ළමා වාට්ටුව වසා දැමීම පිළිබඳව ලංකාදීපය කළ විමසුමක දී අනුරාධපුරය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා සඳහන් කළේ තමාට ඒ පිළිබඳව ප්‍රකාශයක් කළ නොහැකි බවය.

මේ අතර අනුරාධපුර රෝහල් 63 වැනි වාට්ටුව හෙවත් ළමා වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ කාර්ය මණ්ඩලය ව

ෙනත් වාට්ටුවලට මාරුකර ඇත. රෝහලේ මහාචාර්ය ඒකකයට අනුබද්ධ ළමා රෝග වාට්ටුවේ සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් 63 වාට්ටුව වසා දැමීමට සිදුවී ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා එහි වට්ටු අංක 24 සහ 25 යන වාට්ටු දෙකේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ට අභ්‍යන්තර චක්‍රලේඛයක් මගින් දන්වා ඇතැයි වාර්තා වේ.

වාට්ටු අංක 63 නැවත විවෘත කරන තෙක් ළමා රෝගීන් ඇතුළත් කිරීම වාට්ටු අංක 24 සහ 25 යන වාට්ටුවලට ඊයේ (30) සිට තාවකාලිකව යොමු කරන බව ද එම චක්‍රලේඛයෙන් දන්වා ඇත. එමෙන්ම වාට්ටු අංක 63 ප්‍රතිකාර ලබන ළමා රෝගීන් 24 සහ 25 යන වාට්ටුවලට මාරු කර යවන අතර 63 වාට්ටුවේ ළමා රෝග සායනය සතියක් ඇර සතියක 24 සහ 25 වාට්ටුවල පවත්වන්නැයි එමගින් උපදෙස් දී ඇත. මේ අතර 63 වාට්ටුවේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන්, පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන්, සීමාවාසික වෛද්‍ය නිලධාරීන් හෙද කාර්ය මණ්ඩලය හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ද 24 සහ 25 වාට්ටුවලට අනුයුක්ත කරන බව ද එම චක්‍රලේඛයෙන් දන්වා ඇත.