roshan-ranasinghe

රජයේ විගණන දෙපාර්තමේන්තුවෙන් සිදුකරන ස්වාධීන විගණන වාර්තාව ලැබෙනතුරු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවන්නේ නැති බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ (01දා) අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නේය. ඒ අනුව විගණකාධිපතිවරයා මාසයක් ඇතුළත එම විගණන වාර්තාව අභියාචනාධිකරණයට ලබාදීමට නියමිතය.පසුගිය විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහ ඊට එක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා විමර්ශනයට පත් කළ කමිටුවේ වාර්තාවට එරෙහිව,

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගොනු කළ පෙත්සම ඊයේ (01දා) යළි දෙවැනි වරටත් සලකා බැලූ අවස්ථාවේදී අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම මෙම ප්‍රතිඥාව ලබාදී තිබේ.

අදාළ වාර්තාව පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අහෝසි කිරීම වැළැක්වීමේ ඊට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සහ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරු මෙම පෙත්සම ගොනු කර තිබුණි.  කෙසේ වෙතත් කුසලා සරෝජිනී වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයා නීතිපතිවරයා වෙත යොමු කර තිබූ අතර, නීතිපතිවරයා අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇත්තේ මේ සම්බන්ධයෙන් ස්වාධීන විගණනයක් (වෝහාරික විගණනයක්) සිදුකරන ලෙසයි. එමෙන්ම ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනට ඇප මත මුදාහැර සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එම නඩුවේ තීන්දුවක් ලැබෙනතුරු සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රියාකාරකම් තහනම් කිරීමට නීතිපතිවරයා නිර්දේශ කර තිබේ.



විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහ ඊට එක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා විමර්ශනයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පංචපුද්ගල කමිටුවක් පත්කළ අතර, එහි සභාපතීත්වය විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියට පවරා තිබුණි. ඊට අමතරව එහි සාමාජිකයන් ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල, විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස්, හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලින් ද අල්විස් යන අය කටයුතු කළහ. කමිටුවේ ලේකම්වරිය ලෙස නීතිඥ ශලනි රොෂානා ප්‍රනාන්දු මහත්මිය කටයුතු කළාය. මෙම නඩුව මාර්තු මස පළමු සතියේදී යළි කැඳවීමට නියමිතය.


පැතූම් ශ්‍රී විජේරත්න