car-house-husband-wife

අල්ලපු ගෙදර උදවිය මෝටර් රථයක් මිලදී ගත් නිසා ඊර්ෂ්‍යාවට ගත් වාහනයේ ෆිනෑන්ස් ගෙවා දැමීමට දැවැද්ද ඉල්ලා බිරිඳට තඩි බෑමේ සිද්ධියක් ගාලු දිසාවෙන් වාර්තා වේ. මොහු විවාහ වූයේ මීට වසර පහළොවකට පමණ ඉහත දීය. මුලදී ප්‍රේම සම්බන්ධතාවක් ඇතිවුවත් දෙපාර්ශ්වයේ කැමැත්තෙන් විවාහ මංගල්‍යය සිදු විය. දෑවැද්දට කිසිම දෙයක් අවශ්‍ය නැතැයි කියමින් දෑවැද්ද ප්‍රතික්ෂේප කළේ මනමාලියගේ පාර්ශ්වයේ අය සතුටට පත් කරමිනි. සාමයෙන් සමගියෙන් වසර පහළොවක් දිග කෑවත් එයට හෙනහුරා ලැබුවේ අල්ලපු ගෙදර උදවිය අලුතෙන් මෝටර් රථයක් මිලදී ගැනීම නිසාවෙනි. ඒ අයට යමක් කමක් තිබූ අතර ඒ නිවෙසේ බිරිය රජයේ රැකියාවක් කළාය. ඒ නිසා බැංකුවෙන් ණය මුදලක් ගෙන අලුතෙන් මෝටර් රථයක් මිල දී ගෙන ආවේය. අල්ලපු ගෙදර උදවිය මෝටර් රථයෙන් ගමන් බිමන් යද්දී මොහුට ඊර්ෂ්‍යාවක් ඇතිවිය. ඒ අය වාහනයක් ගත්ත නම් ඇයි අපට වාහනයක් ගන්න බැරි යැයි ඒ වාහනය දකින දකින වාරයක් පාසා ඔහු සිතුවේය.



‛අල්ලපු ගෙදර වාහනයක් අරගෙන උජාරුවට යන්නේ අපට පේන්නයි. ඔයාට හිතෙන්නේ නැද්ද අපටත් වාහනයක් ගත්ත නම් හොඳයි කියල
ඔහු සිය බිරියට හිතේ තිබූ දේ පැවසුවේ යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙනි. අනේ ඔයාටත් පිස්සු ඒ අය වාහනයක් ගත්තට අපට වාහනයක් ගන්න පුළුවන් ද ? අපිට තිබෙන වත්කම මොකක්ද?එහෙම කියන්න එපා හාමිනේ, ඔයා ඉන්නේ නිතරම රිවර්ස් ගියර් එකේ. ඔහොම හිතල නම් කවදාවත් දියුණු වෙන්න බැහැ. යර්ස් අයි කැන් කියල නිතරම හිතන්න, හිතුවොත් ඕනම කෙනෙකුට ඕනම දෙයක් කරන්න පුළුවන්'

' මම ඉන්නේ රිවර්ස් ගියර් එකේ නොවෙයි. ඕන වෙලාවට ෆස්ට් එකේ යන්නත් පුළුවන්. අවශ්‍ය නම් තර්ඩ් එකේ යන්නත් පුළුවන් . අල්ලපු ගෙදර අයට කුරුඳු ඉඩම් තියෙනවා. අපට එහෙම තිබෙනවද? අනික ඒ ගෙදර ගෑනිත් රස්සාවක් කරනවා. ඔයා රස්සාවක් කරනවද? මම රස්සාවක් කරනවද? ඔය පිස්සු විකාර නැතුව අනුන්ට ඉරිසියා කරන්නේ නැතුව ඉදිමු'
බිරිය සිය පුරුෂයා ට කරුණු පැහැදිලි කර දෙමින් කීවාය.



බිරියගේ වදන් තඹ දොයිතුවකටවත් ගණන් නොගත් ඔහු ගෙදර තිබූ බිරියගේ කන කර ආභරණ සියල්ල උකස් කරමින් හා අඩුපාඩුවට ෆිනැන්ස් කරමින් වාහනයක් ගෙන ආවේය.  මාස කිහිපයක් යන විට වාහනයේ ෆිනෑන්ස් ගෙවා ගැනීමට බැරි තත්ත්වයක් උදාවිය. මොහු දස අතේ කල්පනා කළේ ෆිනෑන්ස් ගෙවා දමන අයුරුය. මම කිව්ව දේ ඇසුව නම් ඔහොම වෙන්නේ නැහැ නේද? වාහනය ෆිනෑන්ස් එකෙන් ඉස්සුවොත් අපට වාහනයත් නැහැ. මගේ කන කර ට තිබූ දේත් නැති වෙනවා

බිරිය යථා තත්ත්වය පැහැදිලි කර දෙමින් කියන්නට වූවාය.

'ඔය මුසල කටින් දෙයක් කිව්වොත් කිසිම දෙයක් හරි යන්නේ නැහැ. තමුසේ එක්කගෙන ආවේ මම නිකං දෑවැද්දට කිසිම දෙයක් දුන්නද? මට වෙන ගැනියෙක් ගත්ත නම් ලොකු දෑවැද්දක් ගන්න තිබුණා, ගිහින් දෑවැද්ද ඉල්ලගෙන එන්න



' අනේ ඔයාගේ කයිවාරුව, දෑවැද්ද එපා කියල අපේ අම්මල තාත්තල ඉදිරියේ වීරයා වගේ රඟ පෑවේ. අවුරුදු පහළොවකට පස්සෙ ද තමුසෙට දෑවැද්ද ඕන වුණේ. මම වාහනයක් ගන්න කිව්වෙත් නැහැ. දෑවැද්ද ගේන්නෙත් නැහැ. ඕන විදියකට ෆිනෑන්ස් ගෙවා ගන්න එකයි ඇත්තේ  බිරිය කීවාය.

බිරිඳගේ වදන් වලට කෝප වූ පුරුෂයා දෑවැද්ද ඉල්ලා බිරිඳ ට නිතර නිතර පහර දෙන්නට විය. මෙසේ පහර දීම නතර වූයේ පොලීසියට ගොස් පැමිණිලි කිරීමෙන් පසුවය.

පොලිස් නිලදාරීන් මෙම ආරවුල විසඳා අවවාද කර ඇත්තේ තමන්ගේ ආර්ථික මට්ටම අනුව යමක් මිලට ගන්නට ගියා නම් මේ ගැටලු මතු නොවනු ඇති බවයි.

(බළපිටියේ එස්.ඒ.වයි. ද සිල්වා)