pention-teacher

වෙළඳසලකට යමින් සිටි විශ්‍රාමික ගුරුවරියකට ලිංගික අතවර කළ බව කියන හිටපු එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.  සැකකරු පැමිණි කුඩා ලොරි රථයක්ද පොලිස් බාරයට ගෙන ඇත. අතවරයට පත් ගුරුවරිය හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත. 



ගුරුවරිය මොරගහහේන මිල්ලෑව ධම්මානන්ද පෙදෙසේ වෙළඳ සලකට යමින් සිටියදී ලොරි රථයෙන් පැමිණි සැකකාර මන්ත්‍රීවරයා එයින් බැස විත් ගුරුවරිය යන මග හරස් කර ඇය වැළඳගෙන ලිංගික අතවර කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මහත් ආයාසයක් දරා සැකකරුගෙන් මිදී අසල නිවසකට පලා ගොස් දොර වසා ගත් ගුරුවරිය පසුපස හඹා ආ සැකකාර මන්ත්‍රීවරයා එම නිවෙස් හිමි කාන්තාවගෙන් ඇය පිළිබඳ විමසීමේ දී ඇය පිටුපස තාප්පෙන් පැන පලා ගිය බව සැකකරුට පවසා ඇති බව පොලිස් විමර්ශන වල දී අනාවරණය වී ඇත.

සැකකරුගේ එම ක්‍රියාව හේතුවෙන් පපු ප්‍රදේශය සීරිම් තුවාලවලට ලක්ව රිදුම් දෙන බව පවසමින් අතවරයට පත් හිටපු ගුරුවරිය 119 හදිසි ඇමතුම් අංශයට කළ පැමිණිල්ලක් අනුව මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් සැකකරු ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකාර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා එම හිටපු ගුරුවරිය සමග කළ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ආරවුලක් ද විමර්ශන වල දී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය. සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


 බිමල් ශ්‍යාමන් ජයසිංහ