mujibar-faucie

කොළඹ නගරාධිපති අපේක්ෂකයා වශයෙන් තරග වැදීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පසුගිය දා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය. තම පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු නගරාධිපති අපේක්ෂයා පිළිබඳ සජබ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සජබ කොළඹ ප්‍රබලයකු වන මුජිබර් සමග සාකච්ඡා කර තිබේ. දිනන්න පුළුවන් කෙනෙක් දැමීමේ අවශ්‍යතාවක් ලෙස තෝරාගෙන මුජුබර් පාර්ලිමේන්තු අසුනින් ඉවත් විය.




පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට ආන්ඩුව වෙරදරන වෙලාවක මුජිබර්ට අල්ලපු අත්තත් පයගහපු අත්තත් යන දෙකම නැතිවිය හැකි බව ඇතැමුන්ගේ මතයයි.
 මුජිබර්ගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් ලබන සතියේ දී ඒ.එච්.එම්.පවුසි දිවුරුම් දීමට නියමිතය. පවුසි පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් පසු එළැඹෙන කැබිනට් සංශෝධනයේදී ජනාධිපතිවරයා විසින් පවුසිට කැබිනට් ඇමැති තනතුරක් ලබාදීමට සූදානමක් ඇතැයි දේශපාලන ආරංචිමාර්ග කියයි.
 එය එසේ වුවහොත් මුජිබර්ගේ අසුනද සජබට අහිමිවනු ඇත. එමෙන්ම එකී කැබිනට් සංශෝධනයේදී මනෝ ගනේෂන්ටද ඇමැති ධුරයක් ලබා දීමට නියමිත බව පැවසේ. මේ වන විට මනෝ ගනේෂන්ගේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ 10 දෙනකුද සමගි ජනබලවේගයෙන් කොළඹ මහ නගර සභාවට තරගවැදීමට නාමයෝජනා භාර දී ඇති පසුබිමක මනෝ ආණ්ඩවට එක් වුවහොත් සජබ කොළඹ නාමයෝජනා පත්‍රය අහෝසි වී යන අවදානමක්ද ඇතැයි වාර්තාවේ.