kegalle-paragammana-incident

උසස් පෙළ විභාගයට සහභාගී වී  තම පියා සමග නිවසට පැමිණෙමින් සිටි සිසුවියක ගමන් කළ ත්‍රීරෝද රථය නවතා ඇයට ඇසිඩ් පොවන්නට උත්සාහ කළ ඇගේ පෙම්වතා බව කියන තරුණයෙකු ගැන කෑගල්ල - පරගම්මන ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඊයේ (23) පස්වරුවේ විභාගය අවසන්ව දහවල් එකට පමණ  සිසුවිය සිය පියා සමඟ ත්‍රිරෝද රථයකින් නිවසට පැමිණෙමින් සිටින අතර තුර, යතුරුපැදියකින් පැමිණි පෙම්වතා කෑගල්ල - පරගම්මන ප්‍රදේශයේ දී මඟ හරස්කොට ත්‍රිරෝද රථයට ගොඩ වී ඇයට ඇසිඩ් පෙවීමට උත්සාහ කර තිබෙයි.
මෙම අවස්ථාවේ තිදෙනා අතර ඇතිවූ පොරබැදීම හේතුවෙන් තුන්දෙනාම රසායනික පිලිස්සුම් තුවාල ලබා ඇති අතර කෑගල්ල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.


උසස් පෙළ සිසුවිය 21 හැවිරිදි වියෙහි පසුවන්නියකි. ඇය දෙවන වර විභාගයට පෙනී සිටීම සඳහා පුද්ගලික අපේක්ෂිකාවක ලෙස විභාගයට සහභාගීවූ අයෙකු බවද පැවසේ.
කෑගල්ල නගරයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයකට ඇය ඊයේ පිටව යන්නේ දිගු කලක් නිවසේ සිටීමෙන් පසුවය. ඇගේ පෙම්වතා සමග පැවති සම්බන්ධය නතර කරන්නට ඇය යෝජනා කර තිබී ඇත්තේ මීට මාසයකට පෙරයි.
ඔහුගේ ඇමතුම් මගහැර සිටි ඇය ඊයේ දිනයේදී එළියට එන බව දැනගත් පෙම්වතා සැලසුම් සහගතව මෙම අපරාධය සිදු කර තිබේ.
සිද්ධියෙන් රෝහල් ගත කර ඇත්තේ කෑගල්ල හෙට්ටිමුල්ල උඩුමාගම ප්‍රදේශයේ පදිංචිව සිටිනවයස 21 පාසල් ශිෂ්‍යාවක ඇගේ 45 හැවිරිදි පියා හා කෑගල්ල නගරයේ පදිංචිව සිටින 21 හැවිරිදි තරුණයා බව පොලිසිය පැවසීය.
සිසුවියගේ මව සාක්ෂි දෙමින් පවසා ඇත්තේ මෙම සම්බන්ධය ගැන තමා දැනුවත්ව සිටි බවයි. එම පෙම්වතා ඇගේ යෙහෙළියකගේ පුතෙකුද වන බවයි. දෙන්නා අතර පැවති අමනාපකම් දුරදිග ගොස් තිබුනේ අනවශ්‍ය නීතිරීති දැමීමට පෙම්වතා උත්සාහ කළ නිසා බවද ඇය පවසා ඇත.


බී සාමාර්ථ තුනකින් පසුගිය වර උසස් පෙළ සමත්ව සිටි දියණියට නැවත උසස් පෙළ පෙනී සිටින ලෙස නිවසින් අනුබල දුන්නද පෙම්වතා නැවත විභාගය කරනවාට විරුද්ධව සිටි බවත් ‘විභාගයට ගියොත් තෝ මරනවා.. මං ඇසිඩ් ගහනවා‘ වැනි තර්ජන කර තිබූ බවත් ඇය සාක්ෂි සපයා ඇත. පෙම්වතාගේ තර්ජන හේතුවෙන් ඔහු සමග සම්බන්ධය මසකට පමණ පෙර නතර කර තිබූ පෙම්වතිය පසුගිය කාලය පුරා ඔහුගේ ඇමතුම් මගහැරිය බවත් මේ නිසා අධික කෝපයකින් ඔහු පසුවන්නට ඇති බවත් මව හෙළි කළාය.
මෙම අපරාධය සිදුව ඇත්තේ එම පසුබිමේය.
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.