
මීගොඩ සහ කොළඹ අතර ධාවනය වන බස් රථයක් තුළදී නාවික හමුදාවේ සේවය කරන හෙදියකගේ ඇගට හේත්තු වී ඇයට හිරිහැරයක් වන ආකාරයට කටයුතු කළේ යැයි කියන වෛද්‍යවරයකු පෙරේදා (4) සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි තලංගම පොලිසිය පවසයි.
මීට අමතරව මෙම වෛද්‍යවරයා ඔහු සතු කැමරා පහසු කම් සහිත ජංගම දුරකතනයෙන් හෙදියව වීඩියෝ කරගෙන ඇති බව ද එම වෛද්‍යවරයා සතුව තිබියදී පොලිස් භාරයට ගත් ජංගම දුරකතනය පරීක්ෂා කර බැලීමේදී දක්නට ලැබුණු බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් 34 හැවිරිදි සැකකාර වෛද්‍යවරයා බස්නාහිර පළාතේ පිහිටි මූලික රෝහලක රාජකාරි කරන අයෙකි.
නාවික හමුදාවේ සේවය කරන හෙදිය මේ බව මගීන්ට දැනුම් දීමෙන් පසු මගීන් පිරිසක් වෛද්‍යවරයා අල්ලා ගෙන පොලීසියට බාර දී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
මගින් අල්ලා දුන් මෙම වෛද්‍යවරයා පසුව සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා බිමතින් සිටින බව පෙනී ගිය නිසා ඔහු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු බීමතින් සිටින බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරන ලදැයි ද පොලීසිය සඳහන් කළේය. නාවික හමුදාවේ හෙදිය ද ඇයට සිදු වූ අතවරය ගැන පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය.
තලංගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිහු කණ්ඩායමක් සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යති. පරීක්ෂණ වලින් පසු සැකකාර වෛද්‍යවරයා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව තලංගම පොලීසිය සඳහන් කරයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval