chthuri-murder-updates

කොළඹ තුරඟ තරඟ පිටියේ කොළඹ සරසවියේ ශිෂ්‍යාවක් ඝාතනය කළ සැකකාර විශ්ව විද්‍යාල සිසුවා සම්බන්ධයෙන් තමා හෝ බිරිය කිසිවක් දැන නොසිටි බව මියගිය සිසුවියගේ පියා ඊයේ අධිකරණයේදී හඬමින් කියා සිටියේය.



‘මං විශ්‍රාමික හමුදා නිලධාරියෙක්. මට දියණියන් දෙන්නෙකු සිටිනවා.මියගියේ ලොකු දුව ඇය විද්‍යාකර විද්‍යාලයෙන් හා අනුලා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ සරසවියට ඇතුලු වුණා. මං හෝ මගේ බිරිය සිද්ධිය වුණ දවස වෙනකං ඇගේ පෙම් සබඳතාවක් ගැන දැන සිටියේ නැහැ. 2019 දී ඇය සරසවියට ඇතුළු වුනේ. 17 වනදා උදේ මං ගෙදර ඉදලා හෝමාගම බස් නැවතුමටත් ඇරලුවා.
ඒවෙලාව තමයි මං දුව දැක්ක අවසන් වෙලාව. මං ෆාමසියක් කරනවා. දවල් බිරිය මට කෝල් කරල කිව්වා කුරුඳුවත්ත පොලිසියෙන් කතාකරලා දුවට කරදරයක් කියල බලන්න එන්න කිව්ව කියලා. අපි පොලිසියට ගිහාම තුරග තරග පිටියට එක්ක ගිහින් මළ සිරුර පෙන්නුවා.
කිසියම් කෙනෙකු පිහියකින් ඇනල තියෙන්නෙ. මේ කෙනා ගැන අපි කිසිවක් දන් නැහැ.දුව අපට කියල තිබුනෙත් නැහැ.‘

සිසුවියගේ මරණය සම්බන්ධයෙන් වූ මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (30) පැවැත්වුණු අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ලබන 13 වනදා දක්වා සිසුවා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසයි.

මේ වන විට සැකකරු රෝහලේ මානසික ප්‍රතිකාර අංශයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බැවින් විශ්ව විද්‍යාල සිසුවා අධිකරණයට ඉදිරිපත් නොකළ බව බන්ධනාගාර ගත නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.