bandula-speaks

ජනවාරි මාසයේදී රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ගැටලුවක් වී ඇති බවත් ජනවාරි මාසයේ සමෘද්ධි දීමනා ගෙවීමත් සතියකින් හෝ දෙකකින් ප්‍රමාද විය හැකි බවත් ජනාධිපතිවරයා පැවසූ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද සඳහන් කළේය..අද (10) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමින් ඔහු මෙසේ කීය.



“ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා ලැබුවා වු 2023 වසරේ දී අපි අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා දරුණු මුල්‍ය අර්බුදයකට භාණ්ඩාගාරය මුහුණදි සිටින බව. ආර්ථිකය 2022 හැකිලීම කරණකොට ගෙන බදු මගින් රැස්කර ගත හැකි ආදායම් ප්‍රමාණය වර්ෂය මුල විශාල ලෙස අඩුවෙලා තියෙනවා. රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, රාජ්‍ය ණය සඳහා ගෙවන පොලී, වෙනත් සුබ සාධන වියදම් වැනි එදිනෙදා පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් කිසිදු ආදායමක් භාණ්ඩාගාරයට නෑ. ඒ නිසා ප්‍රධාන ගැටලුව ලෙස මුහුණදී සිටින්නේ සෑම මසකම අග රාජ්‍ය සේවක වැටුප් ගෙවීමේ දී. ඒ බිල සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා තමයි ප්‍රමුඛතාවය ලබාදෙන්නේ. මේ වර්ෂය පුරාවට මේ ආදායම් ගැටලුව පවතින නිසාත් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා සියලූම අමාත්‍යාංශවල අයවැය ලේඛනයෙන් වෙන්කළ මුදල්වලින් 5% ක් කපා හරින්න.

ජනවාරි මාසයේ දී වැටුප් ගෙවීමේ දී තියෙන දුෂ්කරතාවය නිසා සමෘද්ධි සහනාධාරය ගෙවීම සතියකට දෙකකට කෙටි පමාවක් සිද්ධවෙන්න ඉඩතියෙන බව එතුමා කැබිනට් මණ්ඩලයට දැනුම්දුන්නා. ඒ තරම්ම දරුණු මුල්‍ය අර්බුදයක් මේක”

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා 2023 වසරේදී අපේක්ෂිත ප්‍රමාණයටත් වඩා දරුණු මූල්‍ය අර්බුදයකට මහාභාණ්ඩාගාරය පත්ව ඇතැයිද  කීය.