How-the-mother-in-law-who-brought-a-wife-for-her-son-got-lost

ජීවත්වීමේ අරගලයට මුහුණදීම සඳහා නැන්දම්මා දියත් කිරීමට ගිය ස්වයං රැකියාව අලුත ගෙනා ලේලිය නිසා ලත් තැනම ලොප් වූ පුවතක් යාපහු පුරවරයෙන් අසන්නට ලැබුණි.
නැන්දම්මා රාජ්‍ය සේවයේ නියැලී සිටි අයෙකි. ඇය දැන් විශ්‍රාමික සුවයෙන් පසුවන්නීය.
සිය පුතා සමඟ නිවසේ පසු වූ ඇය තම පුත්‍රයාට සහකාරියක් සෙව්වාය.


ඔහුත් රජයේ රැකියාවක් කරන නිසා සහකාරිය ලෙසට සෙවුවේ නිවසේ දරුවන් රැක බලාගෙන ගේ දොර වැඩකටයුතු කර ගැනීමට සමත් කතකි. එලෙස කීප දෙනෙකුම සොයා හිත ගිය කතක ඔහු විවාහ කර ගත්තේය.
පුතා කොළොම්පුරයේ සේවය කරන නිසා නැන්දම්මා හා ලේලිය නිවසේ පසු වූවාය.


ලේලියට රැකියාවක් නැති නිසා නැන්දම්මා සොයන වැටුපට අමතරව මුදලක් සොයන්නට
නැන්දම්මා වෙහෙසුණේ සෑම බඩුවකම මිල
ඉහළ ගොස් ඇති බැවිනි.
ඇය පොල් කටු හැඳි විකිණීමේ ස්වයං රැකියාවක් පවත්වාගෙන යාමට සැලසුම් කළාය.
හැඳිවලට අවශ්‍ය ලී අවට අයෙකු යොදවා කපා ගත්තාය. ඊට ගෙවිය යුතු කුලියත් ගෙව්වාය. ඒ අතර ඇය පොල් කටුත් සොයා ගත්තාය. කපාගත් ලී හා පොල් කටු දුම් ගසන්නට ළිප අසලින් තැබුවාය. ඒ ගුල්ලන්ගෙන් ආරක්ෂා කර ගැනීමටය. දින කීපයක්ම ළිප අසල ඒවා එලෙස තබා සිටින අතරවාරයේ නැන්දම්මාට වට වන්දනාවේ යාමේ භාග්‍ය උදා විය. ඒ අතරේ ඉවුම් පිහුම් කටයුතු වල යෙදුණේ නවක ලේලිය යි.


විදුලිය විසන්ධි කිරීම සිදු වෙන නිසාත්, නැන්දම්මා වන්දනාවේ ගොස් ආපසු එන නිසාත්
හනි හනිකට ලේලිය ඉවුම් පිහුම් වල යෙදුණාය.
ඒ අතර වැස්සක් ආ නිසා පිටතට ගොස් දර ටිකක් ගෙට ගැනීමට ද නොහැකි විය.
එම නිසා ඇය නැන්දම්මා ළිප අසල පෙළට තබා තිබෙන හැඳි වලට ගත් ලී හා පොල් කටු ළිපට දැම්මාය. ඒ අතර වන්දනාවේ ගිය නැන්දම්මා ගෙට ගොඩවුණාය.
හැඳි හදන්නට ගෙනා පදම්කර තිබෙන ලී කෝටු හා පොල් කටුවලට කර තිබෙන හානිය දුටු නැන්දම්මාට යක්ෂයා ආරූඪ වූවාය. ඇය කෑ ගැසුවාය.
අවසානයේ ඒ ශබ්දය ඇසී දිව ආ අසල්වැසියන්ට ඉතිරි කෝටු හා පොල්කටු ටිකත් නැන්දම්මා ගින්නට දමා පුලුස්සමින් දියත් කළ රැකියාව නිමා කරන අයුරු පෙනුණා ලු.

මොරගොල්ලාගම සිසිර කැලේගම