unawatuna-accident-update

ඊයේ උණවටුනේදී දුම්රියක ගැටී ත්‍රීරෝද රථයක ගමන් කළ රියදුරෙකු හා රුසියානු කතක මරු දුටු අතර එලෙස මියගිය ඩයරියා නමැති රුසියානු ජාතික කාන්තාව ශ්‍රී ලංකාවේ පදිංචිව සිට ඇත්තේ තම වයස 4 සිගිති දියණිය සමග පෙර පාසලක්ද පවත්වා යමිනි. සිද්ධිය අවස්ථාවේ එම දරුවා තමන්ට අයත් දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රදවා නැවත නිවසට යමින් සිටියදී මෙම කාන්තාව අනතුරින් මිය ගියාය.


අනතුරට ලක්වීමෙන් මියගිය රුසියානු ජාතික කාන්තාවගේ ඥාතීන් කිසිවෙකු මේ දක්වා අමතා නැති අතර කුඩා දියණිය භාර ගැනීම සඳහා කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බවට තොරතුරු වාර්තා වෙයි.

මියගිය කාන්තාව සහ ඇයගේ කුඩා දියණිය උණවටුන ප්‍රදේශයේ ‘විලා’ එකක වාසය කර ඇත.දරුවා ඇරලවූ දිවාසුරකුම් මධ්‍යස්ථානය හා පෙර පාසලද රුසියානු කාන්තාවට අයිති එකක් බව පැවසේ.

නවාතැන් ගෙන සිටි ස්ථානයට ඇගේ ඥාතීන් ගැන තොරතුරු පවතින නමුත් ක්ෂණිකව සම්බන්ධ කරගන්නට හැකිවී නැත. අනතුර සිදුවූ ඊයේ දිනයේ ඇය සිය සිව් හැවිරිදි දියණිය දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත ඇරලවූ පසු නැවත මව නොපැමිණි නිසා දියණිය දිගටම එහි රදවාගෙන සිටින්නට සුරකුම් මධ්‍යස්ථානයේ අය කටයුතු කර ඇත.


මොවුන්ගේ කිසිදු ඥාතියෙකු මෙරට නොමැති බවත් තානාපති කාර්යාලය හරහා ඔවුන්ගේ ඥාතියෙකු සම්බන්ධ කරගන්නා තුරු කුඩා දැරිය දිවා සුරැකුම් මධ්‍යස්ථානයේම රඳවා ගැනීමටත් නියමිත බවත් වාර්තා වෙයි.
උණවටුන ප්‍රදේශයේදී බෙලිඅත්ත සිට වවුනියාව බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ ත්‍රිරෝද රථය ගැටීමෙන් රුසියානු ජාතික කාන්තාව සහ එහි රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුයේ රියදුරු නොසැලකිලිමත්කමින් දුම්රිය මාර්ගය හරහා ත්‍රිරෝද රථය ධාවනය කිරීම හේතුවෙනි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන හබරාදුව පොලීසිය සිදුකරයි.