ලෝකයේ විශාලතම ථෙරවාදී බෞද්ධ රාජ්‍යයක් වන තායිලන්තයේ භික්ෂූන් සම්බන්ධ දැඩි විනය නීති පවතින අතර මෑතකාලයක සිට අර්බුදයක්ව පවතින මත් කුඩු උවදුරින් සංඝ සමාජය බේරාගන්නට එරට රජය දැඩි නීති හඳුන්වාදී තිබේ.
 බැංකොක් පෝස්ට් වාර්තාවක දැක්වෙන්නේ තායිලන්තයේ පෙට්චබුන් පළාතේ කුඩා ආගමික ස්ථානයක් පොලිසිය සහ සෞඛ්‍ය නිලධාරීන් විසින් වටලා මත්කුඩු ලබාගැනීම සම්බන්ධයෙන් සැක සහිත ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි.



මුත්‍රා පරීක්‍ෂාවේදී නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ සාක්‍ෂි තහවුරුවීම සමඟ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු භික්‍ෂූන් වහන්සේලා සිව් නමකට පැවිදි දිවියෙන් ඉවත් වීමට සිදු වූ බව බැංකොක් පෝස්ට් වාර්තා කළේය.
මෙම කුඩා විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා කිහිප නමක් පමණක් වාසය කරමින් සිටි අතර මෙම සිදුවීම නිසා
තායිලන්ත විහාරස්ථානය භික්ෂූන් වහන්සේලා නොමැතිව ශූන්‍යවී ඇත.
භික්ෂූන් සියලු දෙනා මත්ද්‍රව්‍ය පරීක්‍ෂණවලින් අසමත් වී නෙරපා හැරීමෙන් පසුව අසල්වාසී දායකයින් විමතියට පත්වූ බවද බැංකොක් පෝස්ට් වාර්තාවේ දැක්වෙයි.
භික්ෂූන් වහන්සේලාගේ නික්මයාම ප්‍රදේශයේ ප්‍රජාව තුළ මහත් කම්පාවක් ඇති කර ඇති බවත් විහාරස්ථානයේ වෙසෙන සතුන් රැකබලාගැනීම පිළිබඳ කනස්සල්ලක් මතුව ඇති බවත් සඳහන්ය.



භික්ෂූන් වහන්සේලාගේ නික්ම යාම ආගමික කටයුතු සඳහා ඔවුන් මත යැපෙන ප්‍රදේශයේ ප්‍රජාව තුළ වික්ෂිප්තභාවයට ද හේතු වී තිබේ.
පන්සලේ වෙසෙන බල්ලන් සහ බළලුන් කිහිප දෙනෙකුට කුමක් සිදුවේද යන්න පිළිබඳව  කනස්සල්ලක් ඇති වී තිබේ.

දිස්ත්‍රික් නිලධාරීන් බුං සෑම් ෆාන් දිස්ත්‍රික්කයේ ආරාම ප්‍රධානියා වෙත මේ බව දන්වා ඇති අතර, උන් වහන්සේ පන්සලට භික්ෂූන් කිහිප දෙනෙකු අනුයුක්ත කිරීමට පොරොන්දු වූ බවද වාර්තාවෙහි දැක්වේ.