power-bill-rise-again

විදුලිය ගාස්තු ලබන වසරේ ජනවාරි සහ ජූනි මාසවලදී පියවර දෙකකින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න මහතා ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුවේදී පැවැසීය. 

ඒ අනුව විදුලි බිල වැඩි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බව ද ඔහු සඳහන් කළේය. දැනට පවතින පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල සියයට 70කින් පමණ වැඩි විය යුතු බව පැවසූ විදුලිබල මණ්ඩල නියෝජිතයෝ විදුලිය ගාස්තු පසුගිය කාලයේදී වැඩි කළද එය විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවූ බැවින් විදුලි බිල වැඩි කිරීම කැබිනට් මණ්ඩලයෙන් මෙලෙස අනුමැතිය ලබාගත් බව ද ප්‍රකාශ කළහ.



“ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුව එහි සභාපති මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය. විදුලිබල ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීමට සහ අදාළ යෝජනා ලබාගැනීම සඳහා විදුලිබල ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල නියෝජිතයෝ මෙම රැස්වීමට කැඳවනු ලැබ සිටියහ.

විදුලි බල මණ්ඩල පාඩුව පියවා ගැනීමේ අරමුණෙන් විදුලි ගාස්තු වැඩි කළද, එය දැරිය නොහැකි මට්ටමකට පැමිණ ව්‍යාපාර ආදිය කඩා වැටීමේ අවදානමක් මතුවිය හැකි බව කමිටුවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා මෙහිදී පෙන්වා දුන්නේය. මේ වන විට විදුලිබල මණ්ඩලය බැංකු සහ විදුලිබල සැපයුම්කරුවන් ඇතුළු විවිධ පාර්ශ්වයන්ට ගෙවිය යුතු ණය ලෙස රු. කෝටි 65000 කට (බිලියන 650) ආසන්න ප්‍රමාණයක් පවතින බව ද මෙහිදී තොරතුරු අනාවරණය විය.

ඉන් රුපියල් කෝටි 3500 කට ආසන්න ප්‍රමාණයක් (බිලියන 35ක්) පුනර්ජනනීය බලශක්තිය සැපයූ ආයතන සඳහා ගෙවීමට ඇති බවත්, තාප විදුලිය සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 7500 ක් (බිලියන 75) ගෙවීමට ඇති බවත් විදුලිබල මණ්ඩල නියෝජිතයෝ පැවසූහ.

ඉදිරියේදී ලබාගැනීමට අපේක්ෂා කරන රුපියල් කෝටි 5000 ක (බිලියන 50) ණය මුදලින් මෙම සැපයුම්කරුවන්ට යම් කොටසක් හෝ ගෙවීමට අපේක්ෂා කරන බව ද ඔවුහු ප්‍රකාශ කළහ. සූර්ය බලශක්ති ඇතුළු පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයේ නියෝජිතයෝ සහ විදුලිබල ක්ෂේත්‍රයට අදාළ අනෙකුත් පෞද්ගලික ආයතනවල නියෝජිතයෝ සිය ගැටලු සහ විදුලිබල ක්ෂේත්‍රයේ සිදු විය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව කාරක සභාව දැනුවත් කළහ. මෙම අවස්ථාවට විදුලිබල සහ බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේශන්, එම්. රාමේශ්වරන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.
අංජුල මහික වීරරත්න