mohomad-risak-kollupitiya-arrested

ආන්දෝලනයට ලක්වූ කොල්ලුපිටිය බෙන්ස්- ත්‍රීරෝද රථ මරණීය අනතුරින් පසු බෙන්ස් රථය පැදවූ කෝටිපති ව්‍යාපාරිකයා රිසාක් ඩුබායි වෙත පළාගිය බව ඊයේ වාර්තාවී තිබුණ අතර අද (13) උදේ වාර්තා වන්නේ ඔහු ඩුබායි සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණි බවත් එසේ පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත්වූ බවත්ය.





26 හැවිරිදි මොහොමඩ් රසුවුල් මොහොමඩ් රිසාක් නමැති මෙම ව්‍යාපාරිකයා වැල්ලම්පිටියේ පදිංචිව සිටි අයෙකි. ඔහු උණ්ඩියල් ක්‍රමයට මුදල් ජාවාරමේ නිරත වන්නකු බවට තොරතුරු හෙළිවී ඇති බව පොලිසිය පවසා තිබුණි.
අනතුරින් පසු සැකකරුට අයත් යයි සැලකෙන නිවාස දෙකක් දෙහිවල සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පරීක්ෂාවට ගිය පොලිසියට හිස් අතින් යළි එන්නට සිදුවූ අතර පසුව සිදු කළ සොයා බැලීමේදී හෙළිවූයේ  අනතුර උදේ 6.15 ට පමණ සිදුවී පැය කිහිපයකින් උදේ 9.55 ට පමණ ඔහු ඩුබායි වෙත පළා ගිය බවයි.

ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත් විට ‘විදේශ ගතවී ඇති බවටත් රෝමිං පහසුකම  හරහා ඇමතුමට සම්බන්ධ වන බවටත්‘ පටිගත කළ නිවේදනය ඇසුන අතර ඔහු පළායන්නට පෙර පළායාම වැළැක්වීමට පොලිසිය පියවරක් නොගත්තේද යන සැකය මතුවිය.

මෙම සැකකරු ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් ව්‍යාපාරවල නිරතවන්නකු බවත් කෙටි නිවාඩුවක් සඳහා මොහු දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ පැවසීය.

ඩුබායි සිට නිවාඩුවට පැමිණීමේ සතුටට ඔහු සිය මිතුරු මිතුරියන් පිරිසකට මත්පැන් සාදයක් පවත්වන්නට ඇති බවට පොලිසිය සැකකරමින් පැවසීය.

රාත්‍රී සමාජ ශාලා තුනකට ගොස් මත්පැන් පානය කළ බව කියන 5 දෙනෙකුගේ පිරිසක් රැගත් බෙන්ස් වර්ගයේ මෝටර් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව කොල්ලුපිටිය ගාලු පාරේ ඇල්ප්‍රඩ් මාවතේ දී පෙරේදා (10) උදේ ත්‍රිරෝද රථයක ගැටී සිදුවූ මෙම අනතුරින් ත්‍රිරෝද රථ රියැදුරු එම ස්ථානයේදීම මියගියේය.

අනතුරින් පසු රටින් පළා ගොස් සිටි මෝටර් රථයේ රියදුරු මොහොමඩ් රසුවුල් මොහොමඩ් රිසාක් අද දින ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව වාර්තා විය.
 කටුනායක ගුවන්තොටුපොළේ දී ආගමන හා විගමන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු ප්‍රශ්න කිරීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.