inland-revenue-department-issue

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපි ගොනු බාර ගැනීම හා සම්බන්ධ පරිගණක මෘදුකාංගයක් හදිසියේ අක්‍රීයවී ඇති හෙයින් බදු තොරතුරු දඩ මුදල් අය කිරීමකින් තොරව ඉදිරිපත් කිරීම සඳහා ජනතාවට සතියක කාලයක් ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (1) පැවසීය.  ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ජේ.සී.අලවතුවල මහතා:- " ඉතා වැදගත් කාරණාවක් මම කියන්නේ. ආදායම් බදු ඇතුළත් කරන මෘදුකාංගය අක්‍රිය වෙලා තියෙනවා.

මේක හිතාමතා කරපු දෙයක්ද නැද්ද කියලා අපි දන්නේ නැහැ. මේ නිසා එහි වැඩ කටයුතු නැවතිලා තියෙනවා. මේකෙ ඇත්ත තත්ත්වය දැනගන්න කැමැතියි.'

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා:- "මෙතුමා මතු කරපු කාරණය ඇත්ත. ඊයේ දිනය වනවිට සියලු දෙනා ආදායම් බදු වාර්තා ලබාදීම කළ යුතුව තිබුණා. මේ නිසා එම මෘදුකාංගයේ තදබදයක් නිර්මාණය වෙලා තියෙනවා. ඊයේ දිනයේදී පෞද්ගලික ආදායම් බද්ද, සමාගම් බද්ද, හවුල් ව්‍යාපාර බද්ද ආදි බදු රිටර්න්ස් ෆයිල් කළ යුතුව තිබුණා. මේක කඩාකප්පල් ක්‍රියාවක් නොවෙයි. මේ තදබදය අපි හඳුනා ගෙන තිබෙනවා. ඊට විසඳුමක් හැටියට බදු ලිපිගොනු ඉදිරිපත් කිරීමට අපි සතියක කාලයක් ලබාදෙනවා. ඒ වගේම එම තොරතුරු බාරදීම නොවැම්බර් මස 20 වැනිදා ලෙස සලකන ලෙසත් දැනුම් දීලා තියෙනවා. මේ කාලය තුළ කිසිම දඩයකට යටත් කරන්නේ නැහැ" යැයිද ඔහු කීවේය.


අංජුල මහික වීරරත්න