homagama-sucide-rate

හෝමාගම හදිසි මරණ පරීක්ෂක බල ප්‍රදේශය තුළ පසුගිය දින 50ක කාලය තුළ 15 හැවිරිදි පාසල් සිසුවියක් ඇතුළු 11දෙනෙකු සියදිවි හානි කරගෙන ඇතැයි හෝමාගම හදිසි මරණ පරීක්ෂක, සාම විනිසුරු බී.එච්. කේ. චින්තක උදය කුමාර මහතා පැවසීය. පනාගොඩ, හබරකඩ, නියදගල, පිටිපන, හිරිපිටිය, මීගොඩ, හංවැල්ල සහ හෝමාගම යන ප්‍රදේශවලින් මෙම සියදිවි හානිකර ගැනීම් වාර්තා වී තිබේ. එම පිරිස වයස අවුරුදු 15ත්, 65ත් අතර වයසේ පසුවන්නන් වන අතර,

ඉන් මරණ 07ක්ම සිදුවී ඇත්තේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ පුද්ගලයන් බව පැවසේ.

ඔවුන් අතරින් වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය කිරීමෙන් පසුව බිරිඳ සමග ඇතිකරගත් ආරවුල් හේතුවෙන් සිය දිවි නසාගැනීමට හේතු වී ඇති අතර, තවත් මරණ කිහිපයක් සිත් තැවුල් හා මානසික පීඩනය හේතුවෙන් සිදුකරගත් මරණ බව සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා පැවසීය. ඊට අමතරව මීගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි පාසල් දැරියක් සියදිවි හානිකරගෙන තිබූ අතර, ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ මානසික  සිත් තැවුල එම සියදිවි හානි කර ගැනීමට හේතු වී තිබේ.මෙම සියලු මෘත දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ හෝමාගම හදිසි මරණ පරීක්ෂක, සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා සහ හදිසි මරණ පරීක්ෂිකා,

සාමවිනිසුරු මානෙල් ගමගේ මහත්මිය ව්සින් හෝමාගම හදිසි මරණ පරීක්ෂණ උසාවියේදී සිදුකර තිබේ.

එහිදී අනාවරණය වූ කරුණු අනුව පෙර වසරවලට වඩා මෙම වසරේ පසුගිය දින 50ක කාලය තුළ මෙසේ සියදිවි හානිකර ගැනීම් වාර්තා වීම වර්ධනය වී තිබූ අතර, ඊට කිසියම් ගැටලුවකදී සුදුසු පුද්ගලයකුගෙන් උපදෙසක් ලබානොගෙන චිත්ත පීඩාවෙන් පසුවීමත්, මානසික ආතතිය හා සිත් කලකිරීමෙන් පසුවීමත් මෙම මරණවලට හේතුව බවට තොරතුරු අනාවරණය වූ බව හදිසි මරණ පරීක්ෂකවරුන් පවසති.එබැවින් යම් ගැටලුවක් ඇති වූ විට ඒ පිළිබඳ තවත් කෙනෙකු හා පවසා තම මානසික පීඩනය සැහැල්ලු කරගෙන ජීවිතය නැතිකර ගැනීම නොව ජීවිතය ජීවත් කරවීමට උත්සාහ දැරීම සිදු කළ යුතු බව හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා සඳහන් කළේය.

ශාන්ත ප්‍රදිප් කුමාර කුලරත්න