drug-issue

රුපියල් කෝටි හත්සියයක ඖෂධ මිලදී ගැනීමේ ඇණවුම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය නිකුත් කර ඇතත් එම ඇණවුම් භාර නොගැනීමට ඖෂධ සැපයුම්කරුවෝ තීරණය කර සිටිති.



මෙම තීරණය ගෙන ඇත්තේ එම ඇණවුම්වලට අදාළ ඖෂධ සැපයීමෙන් පසු ඒ සඳහා මුදල් ගෙවීමේ කිසිදු ක්‍රමවේදයක් අමාත්‍යාංශයට නොතිබෙන නිසා යැයි සැපයුම්කරුවෝ පැවසූහ.

වෛද්‍ය සැපයීම් අංශය මේ සඳහා ටෙන්ඩර් කැඳවූයේ ජීවිතාරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ හිඟය මග හරවා ගැනීම සඳහාය. ප්‍රධාන සැපයුම්කාර සමාගම් කිහිපයක්ම මෙම ටෙන්ඩර් භාර ගෙන ඇතත් ඖෂධ සැපයීමෙන් පසු මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රමවේදයක් අමාත්‍යාංශයට නොමැති බව අනාවරණය වෙයි.

මේ අතර මීට පෙර සපයන ලද ඖෂධ වෙනුවෙන්ද රුපියල් කෝටි හයදහසක පමණ මුදලක් මෙම සැපයුම්කරුවන්ට ගෙවීම වසර එකහමාරක කාලයක් තිස්සේ අමාත්‍යාංශය පැහැර හරිමින් සිටී.
(නිලන්ත මදුරාවල)