china-covid

ඉහළ යන COVID-19 පැතිරීම හේතුවෙන් චීන රෝහල් සහ අවමංගල්‍ය ස්ථාන බදාදා වනවිට දැඩි පීඩනයකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීනය සඟවන නිසා පැතිරීමේ පරිමාණය සහ නිල දත්ත පිළිබඳ සැකයක්ද මතුව ඇති අතර සමහර රටවල් නව සංචාරක නීති චීනයට පැනවීමට මෙම හේතුව පොළඹවා ඇත.
චීනයෙන් පැමිණෙන සංචාරකයින් සඳහා COVID පරීක්ෂණ අවශ්‍ය බව එක්සත් ජනපදය ඉන්දියාව, ඉතාලිය, ජපානය සහ තායිවානය පවසා තිබේ.



චීනයේ සමස්ත එන්නත් අනුපාතය 90% ට වඩා වැඩි නමුත් පසුගිය සතියේ රජයේ දත්ත වලට අනුව, බූස්ටර එන්නත් ලබා ගත් වැඩිහිටියන්ගේ අනුපාතය 57.9% දක්වා සහ වයස අවුරුදු 80 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා 42.3% දක්වා පහත පවතින බව හෙළිව ඇත. රට තුළ දේශීයව සංවර්ධනය කරන ලද COVID එන්නත් නවයක් භාවිතය සඳහා අනුමත කර ඇති නමුත් අධික ලෙස බෝවන Omicron ප්‍රභේදය ඉලක්ක කර ගැනීමට කිසිවක් යාවත්කාලීන කර නොමැති බවද හෙළි විය.

චීනය අඟහරුවාදා නිල වශයෙන් නව COVID ආශ්‍රිත මරණ තුනක් පමණක් වාර්තා කළ නමුත් - අවමංගල්‍යාගාර වාර්තා කරන දේට නොගැලපෙන සංඛ්‍යා පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
චීනය ප්‍රකාශ කර ඇත්තේ තමන් නියුමෝනියාව සහ ශ්වසන අපහසුතා හේතුවෙන් සිදුවන COVID රෝගීන්ගේ මරණ පමණක් COVID ආශ්‍රිත ලෙස ගණන් ගන්නා බවයි.


නිරිතදිග චෙංඩු නගරයේ විශාල රෝහලක් වන Huaxi හි කාර්ය මණ්ඩලය පැවසුවේ ඔවුන් COVID රෝගීන් සමඟ “අතිශයින් කාර්යබහුල” බවයි.
හඳුනා ගැනීම ප්‍රතික්ෂේප කළ එක් ගිලන් රථ රියදුරෙක් පැවසුවේ “මම වසර 30 ක් තිස්සේ මෙම රැකියාව කරමින් සිටිනවා. මේක තමා දරුණුම කාලය.
අඟහරුවාදා සවස රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ගිලන්රථවලින් පැමිණි බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හුස්ම ගැනීම සඳහා ඔක්සිජන් ලබා දුන්නා. රෝගීන් සෑම කෙනෙකුටම පාහේ COVID තිබුනා”

Chengdu හි විශාලතම Dongjiao අවමංගල්‍ය නිවස අවට රථ ගාල් පිරී තිබුණි. ආදාහනාගාරයෙන් නොකඩවා දුම් පිටවුන අතර අවමංගල්‍ය කටයුතු නොකඩවා සිදු විය.

“අපිට දැන් දවසට 200 වතාවක් විතර මේක කරන්න වෙනවා,” එක් අවමංගල්‍ය සේවකයෙක් පැවසීය. "අපි ගොඩක් කාර්යබහුල වෙලා අපිට කන්නවත් වෙලාවක් නෑ. මේක අරින වෙලාවෙ ඉඳන්. කලින් දවසට 30-50 වගේ තිබ්බා.දැන් හතර ගුණයකට වඩා වැඩි වෙලා..බොහෝ දෙනෙක් COVID වලින් මිය ගියේ” තවත් සේවකයෙක් පැවසීය.



බීජිං චායැන්ග් රෝහලේ නිලධාරියෙකු වන ෂැං යුහුවා පැවසුවේ මෑත කාලීන රෝගීන් වයෝවෘද්ධ අය සහ නිදන්ගත රෝගවලින් බරපතල ලෙස රෝගාතුර වූ අය බවයි. හදිසි ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව දිනකට 450-550 දක්වා ඉහළ ගොස් ඇති බව ඇය පැවසුවාය, එය පෙර 100 ක් පමණ වූ බව රජයේ මාධ්‍ය වාර්තා කරයි.

 (රොයිටර් පුවත් සේවය ඇසුරිනි)