bentota-incident

බෙන්තොට ප්‍රදේශයේ සංචාරක නිකේතනයක සාදයක් පවත්වමින් සිටි තරුණයන් තිස් දෙනකු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 200 ක් ද සමඟ පෙරේදා (17) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය කියයි.පහ වසර ශිෂ්‍යත්ව විභාගයට ඊයේ (18) එම ප්‍රදේශයේ පෙනී සිටි දරුවන්ට සහ අවට නිවාසවල පදිංචිකරුවන්ට බාධාකාරි ලෙස මෙම පිරිස සාදයක් පවත්වන බවට හෝටලය අවට පුද්ගලයන් බෙන්තොට පොලිසියට කළ දැනුම් දීම මත වැටලීමක් කර මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. කොළඹ ප්‍රදේශයේ සිට පැමිණ ඇති මෙම තරුණ පිරිස මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් සිට ඇතැයි පොලිසිය කළ පරීක්‍ෂණ වලින් හෙළි වී ඇත.



බෙන්තොට පොලිසිය ගොස් මෙම පිරිස අත්අඩංගුවට ගන්නා විටත් තරුණයන් තිස්දෙනා සන්තකයේ එම විෂ මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 50ත් මිලිග්‍රෑම් 100 ත් අතර ප්‍රමාණයේ කුඩා පැකට් තිබූ බව පොලිසිය කියයි. අවුරුදු 25 ත් 35 ත් අතර වයස් වල පසුවන මෙම සැකකාර තරුණයන් වත්තල, මෝදර මට්ටක්කුලිය, දෙහිවල, මරදාන මලිගාවත්ත මාබෝල, සංඝරාජ මාවත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට පොලිසිය විසින් හඳුනාගන ලැබ ඇත.  මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් තරුණයන් 30 දෙනා කොළඹ ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරීමේ නිරතව සිටින අතර පිරිසක් කොළඹ වරායේ සේවය කරන බව පොලිසිය පවසයි.



සාදය සඳහා බෙන්තොට ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් රුපියල් හැටදහසක මුදලක් ගෙවා දින දෙකකට ලබාගෙන ඇත්තේ පසුගිය 16 වැනිදා බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.බෙන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර තරුණයන් තිස් දෙනාට බෙන්තොට පොලිස් සිර මැදිරියේ ඉඩකඩ මදි වූ හෙයින් ඉන් පහළොස් දෙනකු බෙන්තොටටත් සෙසු සැකකරුවන් පහළොස් දෙනා කොස්ගොඩ පොලිස් සිර මැදිරියේත් රඳවා තැබීමට කටයුතු කළ බව බෙන්තොට පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.
 තුසිත කුමාර ද සිල්වා