akkareipattu-incident

අක්කරෙයිපත්තුව අධිකරණ සංකීරණයේ ලේඛනාගාරයේ ඊයේ (21) අලුයම 4.10ට පමණ හටගත් ගින්නකින් එහි නඩු කටයුතුවලට අදාළ වටිනා ලියකියවිලි රැසක් විනාශ වී ඇති බව අක්කරෙයිපත්තුව පොලිසිය කියයි.මෙම ගින්න අධිකරණ සංකීරණයේ නව ගොඩනැගිල්ලේ හටගෙන ඇති බව එහි මුරකරුවකු දැක ඒ බව අධිකණ පරිශ්‍රයේ ඇති පොලිස් මුරපොළට දැනුම්දී ඇත.ඒ අනුව අක්කරෙයිපත්තුව පොලිසියේ ජල බවුසරයක් සහ අක්කරෙයිපත්තුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ජල බවුසරයක් ගෙන්වා ගෙන ගින්න නිවාදමා ඇති නමුත් ඒ වනවිටත් නඩු ගොනු සියල්ලම පාහේ විනාශ වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.



සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර මූලස්ථාන පොලිසියේ පොලිස් නිල සුනඛ අංශය හා ඇඟිලි සලකුණු අංශය ඇතුළු විශේෂ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් එම ස්ථානයට කැඳවා විමර්ශන ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියෙක්  පැවසීය.එයට සමගාමීවස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් ද කැඳවීමට පියවර ගෙන ඇති බව එම නිලධාරියා කීය.අක්කරෙයිපත්තුව පොලිසිය අක්කරපත්තුව අධිකරණ බල සීමාවේ සිදු කරන දූෂණ හා විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි වැටලීම්වලට අදාළ නීතිමය පියවර ගෙන ඇති අතර ඔවුන්ට එරෙහි නඩු කටයුතු රැසක් පවත්වාගෙන යයි.



කිසියම් කඩාපල්කාරීන් පිරිසක් ලේඛනාගාරයේ වීදුරු ජනේලයකින් ඇතුළු වී ලිපි ලේඛන ගොඩ ගසා ඒවාට ගිනි තැබුවේදැයි යන්න ගැනද විමර්ශන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.මෙය නව ගොඩනැගිල්ලක් වන අතර ගිනි ගැනීමෙන් එහි බිත්ති පුපුරාගොස් දේපළවලටද හානි සිදුවී ඇත.නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද සහ නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත අම්පාර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක සහ සහකාර පොලිස් අධිකාරි එස්.එම්. සෙනවිරත්න යන මහත්වරුන්ගේ උපදෙස් අනුව අක්කරෙයිපත්තුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේතුංග මහතාගේ මෙහෙවීමෙන් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය