6000-fail-ol

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6,000ක් සියලු විෂයන් අසමත් වී ඇති බවත්, මෙම සිසුන් අසමත් වීමට වගකිවයුත්තේ කවුරුන්ද යන්න ප්‍රශ්නයක් බවත් සභානායත, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.  සියලු පාර්ශ්වයන් විදුහල්පති වැටුප් විෂමතාව, ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව, දීමනා වැනි කාරණා පිළිබඳ නොයෙකුත් ප්‍රකාශ කළද මෙලෙස ශිෂ්‍ය ශිෂ්‍යාවන් අසමත් වීම පිළිබඳ කිසිවෙකුත් සාකච්ඡා නොකරන බව 2023 අයවැය කාරක සභා අවස්ථාවේ ඊයේ (01දා) පාර්ලිමේන්තුවේ පැවැති අධ්‍යාපන සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් යන අමාත්‍යාංශ පිළිබඳ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.



එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා,

“අද මේ හැමෝම කතා කරන්නේ විදුහල්පති වැටුප් විෂමතාව, ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව සහ දීමනා පිළිබඳ. ඒත් මේ එක්කෙනෙක්වත් කතා කළේ නෑනේ දරුවන්ට හරියට පන්තියේදී උගන්වනවාද කියලා. සිසුන් 6,000 ගාණක් මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගයේ සියලු විෂයන් අසමත්, වගකියන්නේ කවුද? වගකියන්න කෙනෙක් නෑ. අවුරුදු 11ක් පාසලේ ඉගෙනගෙන වැඩ සියල්ලම අසමත් වුණාම වගකියන්න කෙනෙක් නෑ. මේ සියලු දෙනා කතා කරන්නේ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ගැන. අනිත් පැත්තෙන් තමන්ගේ මතයම පරස්පර වෙනවා” යනුවෙන් පැවසීය.