thilini-priyamali

මහා පරිමාණයෙන් මුදල් වංචා කළැයි කියන ‘තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි නමැත්තියගේ දැනුම් දීම මත බොරැල්ලේ සිරිසුමන හිමියන් ව්‍යාපාරිකයන්ගේ නිවෙස්වලට ගොස් ආරූඪ වී, “මේ සුරංගනාවියට සල්ලි දෙන්න. නැත්නම් උඹලා විනාශ වෙනවා" යැයි පවසා ඔවුන් බියකර මුදල් ආයෝජනය කිරීමට ඔවුන් පොළඹවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ ඊයේ (16) කරුණු වාර්තා කළේය.තිළිණි ප්‍රියමාලි යන අයගෙන් ලබාගත් රත්‍රන් වලින් උණුකර සකස් කරගත් රන් කුට්ටි පෙන්වමින් මෙම හිමිනම එම ව්‍යාපාරිකයන්ගේ මුදල් ආයෝජනයට යොදවාගෙන ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.



පැමිණිලිකරුවන්ගෙන් රුපියල් කෝටි 130කට අධික මුදලක් වංචා කළ ‘තිකෝ' සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි යන අය වංචා කළ මෙම මුදලට සිදුවූයේ කුමක්ද යන්න මෙතෙක් හෙළි වී නොමැති බවත්, එම මුදල් මෙරටින් පිටවී ඇද්ද? නො එසේනම් නීති විරෝධී කටයුතු වෙනුවෙන් යොදවා ඇත්දැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.  මෙම මහා පරිමාණ මුදල් වංචාවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ‘තිකෝ’ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි, ඇයගේ අනියම් සැමියා බව කියන ඉසුරු බණ්ඩාර සහ ‘ක්‍රිෂ්’ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන, බොරැල්ලේ සිරිසුමන හිමියන් සහ ‘තිකෝ' සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වන කසුන් පෙරේරා ඇතුළු සැකකරුවන් පස් දෙනා ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ ඉදිරිපත් වූ අතර, ඔවුන් ලබන 30 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද අධිකරණය නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ සැකකාර ඉසුරු බණ්ඩාර යන අය රුපියල් කෝටි 04කට අධික මුදලක් ඩොලර්වලට මාරුකර ඇති අතර, ජානකී සිරිවර්ධන යන අය ද රුපියල් කෝටි 8ක පමණ මුදලක් සාවද්‍ය පරිහරණය කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ජානකී සිරිවර්ධන යන අය විසින් ගාල්ල ප්‍රදේශයේ ‘රත්තරන්’ නමැති කට්ටඬියකුට මුදල් ලබාදුන් බවට හඬපට වලින් හෙළිවූ බැවින් එම තැනැත්තා ගෙන්වා ප්‍රකාශ සටහන් කරගත් අතර, පූජා කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 70 ක මුදලක් ජානකි ලබා දුන් බවට ඔහු ප්‍රකාශ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

එසේම ජානකී සිරිවර්ධන යන අය බොරැල්ලේ සිරිසුමන හිමියන්ගේ ගිණුමට රුපියල් ලක්ෂ 22ක මුදලක් තැන්පත් කර ඇති බවට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වීය. තම සේවාදායකයන්ට ඕනෑම කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙසට ඔවුන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් ඉල්ලා සිටියද, සමස්තයක් වශයෙන් මේ සියලු සැකකරුවන් අඩු වැඩි වශයෙන් වංචාවට දායක වී ඇති බවත්, සැකකරුවන්ට ඇප ලබා දුනහොත් පරීක්ෂණයට බාධාවක් වන බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

 නිමන්ති රණසිංහ