sri-lanka-cricket

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් කරමින් පැවැත්වෙන අවසන් තරගය අද (30දා) ප.ව. 2.30ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. දැනටමත් තරග 1-0ක් ලෙස ඇෆ්ගනිස්තානය තරගාවලියේ පෙරමුණ ගෙන සිටින හෙයින් මෙම තරගය අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාව ජයගත යුතු වෙයි. කෙසේ නමුත් අනපේක්‍ෂිත ලෙස මෙම තරගයෙන්ද ශ්‍රී ලංකාවට පරාජය වීමට සිදුවුවහොත්, එය ඇෆ්ගනිස්තානය ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාසයේ ලබාගන්නා ගෞරවාන්විතම තරගාවලි ජය වනු ඇත.

ජාත්‍යන්තර එක්දින පිටියේ මේ දක්වා ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලි ජයග්‍රහණ වාර්තා කර ඇත්තේ සිම්බාබ්වේ, අයර්ලන්තය, ස්කොට්ලන්තය හා නෙදර්ලන්තයට එරෙහිව පමණි. ඒ අනුව අද තරගයද ජයගතහොත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැරණිම පූර්ණ සාමාජික රටකට එරෙහිව ලබන පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය සැමර්මට ඔවුන්ට අවස්ථාව උදාවනු ඇත. දෙරට අතර ඉරිදා (27දා) පැවැති දෙවැනි තරගය ජයගෙන ශ්‍රී ලංකාවට ගිලිහී ගිය ගෞරවය බේරාගැනීමේ අවස්ථාවක් තිබුණද, එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තරගය අතහැර දැමීමට සිදුවීම හේතුවෙන් මේ වනවිට ඉතිරිව ඇත්තේ ගෞරවය බේරාගැනීමේ බලාපොරොත්තුවක් පමණි. කෙසේ නමුත් අද තරගයටත් වර්ෂාවෙන් බාධා එල්ල වී තරගය අතහැර දැමීමට සිදුවුවහොත්, නිතරගයෙන්ම තරගාවලියේ ජය තහවුරු කරගැනීමට ඇෆ්ගනිස්තානයට අවස්ථාව උදාවෙයි.

කාලගුණ අනාවැකි අනුව අද තරගයට වැසි ඇතිවීමේ හැකියාව 0%ක අගයක් ගනු ඇති බවට වාර්තා විය. මේ වනවිටත් 2023 එක්දින ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලැබීමේ අවධානමක සිටින ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජය සුවිශේෂී වෙයි. එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ දීර්ඝ අතීතයක් ඇති ශ්‍රී ලංකාව, 1975 වසරේ ආරම්භ වූ පළමු එක්දින ලෝක කුසලානයේ සිට මේ දක්වා පැවැති සෑම එක්දින ලෝක කුසලානයකටම ඍජුව සුදුසුකම් ලබා ඇත. ඒ අනුව එළබෙන ලෝක කුසලානයට ඍජුව පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වුවහොත්, වසර 47කට පසු පළමු වරට ලෝක කුසලාන වරම් හිමිකර ගැනීමට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.

( සංජීව ධර්මසේන)