exercise-book-price-hike
අභ්‍යාස පොත් මිල විශාල ලෙස ඉහළ යාමට බලපා තිබෙන්නේ, රජය බදු පැනවීම පමණක් නොව මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු විසින් සිදුකරන ජාවාරම් ක්‍රියාවක් නිසා බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි. සමස්ත අභ්‍යාස පොත් අවශ්‍යතාවෙන් 40%ක් මහා පරිමාණ ව්‍යාපාරිකයන් විසින් ලබාදෙන බවත්, මීට අමතරව කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව විසින් 30% බැගින් ලබාදුන් බවත්  එම සංගමයේ සභාපති නිරුක්‍ෂ කුමාර මහතා පැවසීය.




විදේශ රටවලින් කඩදාසි ගෙන්වීමට ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙළෙඳ පොළට ලබාදුන් 30% දායකත්වයෙන් 90%ක් පමණ මේ වනවිට නැවතී ගොස් තිබෙන බවද හෙතෙම පවසා සිටියේය. දැනට කර්මාන්තය පවත්වාගෙන යන සුළු පිරිස පවා අදාළ කටයුත්ත සිදුකරනු ලබන්නේ, රුපියල් 3,000කට පමණ මුදලකට අලෙවි වූ කඩදාසි ඊල් එකක් රුපියල් 12,000කට අධික මුදලක් වැය කර ලබාගන්නා කඩදාසිවලින්  බවද සභාපතිවරයා සඳහන් කළේය. මීට අමතරව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව විසින් ලබාදුන් දායකත්වයත් මේ වනවිට නැවතී ගොස් තිබෙන බවත්,


මේ අනුව කඩදාසි ගෙන්වන හා පොත් නිෂ්පාදනය සිදුකරන මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් කිහිපදෙනෙකු විසින් පොත් හා කඩදාසි අධික මිලකට අලෙවි කරමින් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය. වෙළෙඳ පොළ තුළ ඇති වී තිබෙන අභ්‍යාස පොත් හිඟය උපයෝගී කරගෙන මෙම ජවාරම් ක්‍රියාව සිදුකරන බවත්,

මේ නිසා කුඩා හා මධ්‍ය පර්මාණ කර්මාන්තකරුවන්ට කඩදාසි ගෙන්වීමට ණයවර ලිපි නිකුත්  කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවත් සභාපතිවරයා පැවසීය.


මීට අමතරව පවතින ජවාරම් ක්‍රියා පිළිබඳ හෙට (23දා) අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරින් දැනුවත් කිරීමට කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය. මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බවට තම සංගමය ඔක්තෝබර් 28වැනිදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර ණයවර ලිපි නිකුත් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කළ බවත්, එහෙත් බලධාරීන් ඒ සඳහා කිසිදු වැඩපිළිවෙළක් මේ වන තෙක් සකස් නොකළ බවත් සභාපතිවරයා සඳහන් කළේය.


(ඉන්දික හේවාවිතාරණ)